බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Jan 26, 2015

නිර්මාණ කියවීමේ සැන්දෑව

දුෂ්කරම අවකාශයක වුව නිර්මාණ තුලින් සමාජය පරිවර්ථනය කල යුතු බව වඩා යහපත් අාස්ථානයකට විශ්වාස කරමු අපි...... 

බොරැල්ල නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය මගින් පැවැත්වීමට ‍යෝජනා කර ඇති නිර්මාණ කියවීමේ සැන්දෑවක් 2015 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා සවස 4.00ට නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී ආරම්භ වේ. මෙය මාසිකව පැවැත් වීමට නියමිතයි. ප්‍රවීන, නවක, ආධුනික නිර්මාණ කරුවන් ගෙන් යුතුව සංවාදශීලී වේදිකාවක් නිර්මාණය කිරීම මෙම කලා ආවරණයේ අරමුණයි.

කෙටිකතා,කාව්‍ය,නවකතා, නාට්‍ය පිටපත්, තිර පිටපත්(චිත්‍ර පට හා රූපවාහිණී), පුවත් පත් ලිපි, විවේචන, ගීත ආදී නිර්මාණාත්මක රචනා ඉදිරිපත් කර සුභවාදීව ඒවා පිළිබඳව මෙහිදී සංවාදයක නිරත වීමට අවස්ථාව උදාවේ. ඉන් බලාපොරොත්තු වන්නේ ගැඹුරු, අර්ථවත් කලාත්මක නිර්මාණ බිහි කිරීමයි. ඔබගේ නිදහස් අදහස් හා යෝජනා අනුව ඉදිරියට මේ කර්තව්යතය දිගටම පුළුල් කරගැනීමට අපි ඔබට ආරාධනා කරමු.

මෙම කර්තව්යඉය සාර්ථක කරගැනීම සඳහා දැනට දයා දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෝමපාල ගුණධීර, බුද්ධදාස ගලප්පත්ති, චමින්ද වෙල‍ගෙදර, මහින්ද කුමාර මස්ඉඹුල, අදිතා දිසානායක යන නිර්මාණ කරුවන් අප හා දායක වීමට කැමැත්ත දක්වා ඇත.

ඔබගේ පැමිණීම සනාත කරන්න. ප්‍රථම දින ඇවිත් යන්න. බෙදාගන්න. 

සංවිධානය
නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය
damithwilegoda@gmail.com
0788523801 දමිත්
0713100411 පබාත්

Dec 23, 2014

ලංකාවේ ඡන්ද දායකයා කොයිබටද? 

ලංකාවේ ඡන්ද දායකයා හැදින්විය හැකි මූලික ක්‍රම හතරක් මම හදුනාගත්තෙමි.
අංක 1 - රියැලිටි ෂෝ එකක එස් එම් එස් එකක් හා ඡන්දයක අතර වෙනස නොදන්නා මෝඩයෙකි.
අංක 2 - විකල්ප කියලා දෙයක් හිමි නැති නෝන්ජලයෙකි.
අංක 3 - කුමක් හෝ අධිකාරී බලයක් සොයමින් ලතැවෙන යටත් වැසියෙකි.
අංක 4 - කලින් කලට ලේ රස සොයනා මදුරුවෙකි.. 
අංක - 1 
ලංකාවේ ජනතාව ඡන්දය දෙන්නේ තරුවලටය. කොටින්ම කියනවානම් තාමත් මෙවර ජනාධිපතිවරණයට කුමක් වේදැයි කීමට අපි ඉක්මන් වැඩිය. එය තීරණය වන්නේ ජනාධිපතිවරණයට පෙර සතිය තුල අපේක්ෂකයන් සහ ඔවුන්ගේ සහචරයින් කරන ගොන් වැඩ අනුව වන බැවිනි. අපේක්ෂකයින් දෙදෙනාගෙන් තරුවක් වන්නේ කවුරුන්ද යන්න මත ඔහු ජනාධිපතිවරණය ජයගන්නවාද නැද්ද යන්න තීරණය වනු ඇත. රියැලිටි ෂෝ එකක ග්‍රෑන්ඩ් ෆිනාලේ එකක් නැරඹීමෙන් අපේක්ෂකයින් දෙදෙනාට ඒ පිලිඹදව තීරණයකට ඒමට හැකිවනු ඇත. ( කී වර්ඩ් - සිංහල, බෞද්ධ, කදුළු, බොක්ක, මුස්ලිම්, දෙමල, යුද්ධය, හදවත, ලේ, ආරක්ෂක හමුදා, මුස්ලිම් ත්‍රස්තවාදය, රැවුල )  අවසානයේ හදවත සසල කිරීමට සමත් අපේක්ෂකයා ජයගනු ඇත. 

අංක - 2
මහින්ද වෙනුවට රිප්ලේස්මන්ට් එක මෛත්‍රීය. බැසිල් වෙනුවට රනිල්ය ගෝඨාභය වෙනුවට රාජිත පැමිනෙනු ඇත. ඔවුන් මහින්ද රාජපක්ෂගේ පාලනයේ අවසාන අවුරුදු හයක ඉවසා දැන් කරලියට පැමිණ ඇත (ඒ ඇයි?). පාරිශුද්ධ චරිත දෙපැත්තේම නැත. ජනතාවට හොරකම් අඩුවෙන් කරන හොර කල්ලිය තෝරාගැනීම හැර වෙන විකල්පයක් නැත. මහින්දව ඉවත් කිරීමට මෛත්‍රීට ඡන්ද දෙන්නෝ එම පියවර අනුගමනය කරන්නේ ඒ විකල්ප හිගකම නිසාය. 

අංක - 3 
ඡන්දයට ඉදිරිපත් වන්නේ රැවුලෙකු, පර්සනැලිටි ඇත්තෙකු, තාත්තෙකු, කදුළු පිසින්නෙකු හෝ ගැලවුම්කරුවෙකු විනා ජනාධිපතිවරයෙකු නොවේ. ඒ අනුව රටේ ජනතාව නන්නත්තාර වී සිටින යන එන මං නැති අපත රැලකි. උන් ජීවත්ව සිටියදී සරත් ෆොන්සේකා යනුවෙන් හදුන්වන පුද්ගලයෙකි යුද්ධය මෙහෙයුවා උන්ට මතක නැත. දැන් එහෙම නමක් හමුදාවට සම්බන්ධ නැත. උන්ට මෙලෝ දෙයක් හිතාගත නොහැක. ලංකාවේ ජනාධිපති හා ඩේ කෙයාර් එකේ ටීචර් අතර ලොකු වෙනසක් නැති බව මේ අනුව ඔබට වැටහෙනු ඇත. හොරකම් කරන බව දැන දැනත් සමහර උන් පැවැත්ම උදෙසා ජනාධිපතිතුමාට කඩේ යයි. අපි වැඩකරන තැන ලොක්කා සමග ඇරගත්තොත් රැකියා සුරක්ෂිතභාවයට කෙලවේ. සරලව උන් කරන්නේ පැවැත්ම සාදාගැනීමය. ඒ හැරුණු කොට මහින්දට විතරක් හොදයි කීමට හේතුවක් නැත. 

අංක - 4 
ලංකාවේ ඡන්ද දායකයා යුද්ධයට හුරුවී ඇත. දීප්තිගේ තියරියට අනුව ඔවුන්ගේ පොදු සතුරා මියයාමෙන් පසු ඡන්ද දායකයා නන්නත්තාර වී ඇත. ඌ දැන් වෙන සතුරෙකු හොය හොයා ඇවිදී. සමහරුන්ට බොදු බල සේනා පිහිට ලැබෙන්නේ මේ අවස්ථාවේදීය. බොදු බල සේනා එකක් පමණි ඒ ඇරියස් එක පුරවාගැනීමට තවත් සංවිධාන ඇත.  

එම නිසා ඔබේ ඡන්දය ඔබට කැමති ගොන් විදිහකට පාවිච්චි කරන්න. 


Oct 10, 2013

බම්බු සවාරි.


දේශපාලන නිදහස,
රැකියා ලබාගැනීමේ නිදහස,
අධ්‍යාපනය ලැබීමේ නිදහස,
ඒවා නම් ඕනි තමා..
මතින් තොර සමාජයක් ගොඩ නැගීමේ නිදහසක්,
ඕනිමද අපිට?
චේ..
මුන් සවාරි ගිහින්
උඹේ සුරුට්ටුවටත් කොටු දාන්න හදන්නේ..
පරිස්සමෙන්..

Oct 7, 2013

සමනල සංධ්වනිය බැලුවෙමු.

වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි... 

සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත. 

බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය. 

වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි. 

විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි. 

සමනල සංධ්වනියට බැලිය යුතුය‍, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.

පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි. 

Sep 8, 2013

Culture Shock


මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. 
කස්සා කෝ බං අපේ ඉතුරු සල්ලි. 
හිතේ අමාරුවට ගිහින් බොන්නත් ගානක් වියදම් වුනා. 
ලයිව් ෂෝ නම් කසුන් කල්හාරයි චාපයි තමා.
කිසිම වෙනසක් නෑ. 
ඒත් අපිට කසුන්ගේ කටහඬ ඇහුනේ නෑ. 
ඔන්න ඕකයි පින්වතුනි පුල්මුඩේ තත්වය.. 

Mar 14, 2013

Anonymity සහ අපි..

Anonymity යනු කුමක්ද
Anonymity හෙවත් අඥාතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ නියම අයිතිකරු නොමැතිව යම් අදහසක් හෝ නිර්මාණයක් හෝ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමටය. එහිදී සාමාන්‍ය භාවිතය ඇතුලත එම අදාල නිර්මිතයේ අයිතිකරු සොයාගැනීම අපහසු වේ. ඇනෝනිමස් වීමේ තව දිගුවක් ලෙස pseudonymity හෙවත් ආරූඪත්වය හඳුන්වා දිය හැක. එහිදී අයිතිකරුගේ සැබෑ ස්වරූපය සඟවා වෙනත් නමකින් පෙනී සිටීමක් සිදුවන අතර එහිදී නිර්මිතයට අයිතියක් හිමිවනවාක් මෙන්ම නිර්මිතය කාගේදැයි හැඟීමක් එය පරිශීලනය කරන්නාට හිමිවේ. මීට උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ මාක් ට්වේන් යනුවෙන් ආරූඪත්වයක් යොදාගත් සැමුවෙල් ක්ලෙමෙන්ට්ස්  පෙන්වා දිය හැක.

අඥාතභාවය කුමකටද? 
අඥාතභාවය යනු අන්තර්ජාලය සමග පැමිණියක් නොවේ. මෙය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල දැකිය හැක. මේ පිලිඹඳව මනා උදාහරණයක් රෝලන්ඩ් එමෙරිච්ගේ ඇනෝනිමස් සිනමා පටය නැරඹීමෙන් ඔබට ලබාගත හැකිවනු ඇත. එසේ අඥාතභාවය භාවිත කිරීමේ හේතුද එම අවස්ථානුකූලව වෙනස්වේ.  පහත මම විස්තර කරනු ලබන්නේ ඉන් කිහිපයකි.
  • ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නම් ඔබ පෙනී සිටින මතවාදයට එරෙහිව ඔබට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අඥාතභාවය යොදාගත හැක. එවිට ඔබගේ ප්‍රතිරූපයට හානි නොවී ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. තවද ඔබට එම මතය ප්‍රකාශ කිරීමෙන් පෞද්ගලික ජීවිතයට යම් තර්ජනයක් එල්ල වේ නම් එවිටද ඔබට අඥාතභාවය යොදාගත හැක. 
  • බොහොමයක් රටවල රහස් පරීක්ෂකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් හමුවීම පවා අඥාතභාවයකින් යුක්තව සිදුවන අතර ක්‍රිස්තානියේ පව් සමාකිරීම සිදුවන්නේද පූර්ණ අඥාතභාවකින්ය. 
අඥාතභාවය හොඳද නරකද? 
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
  • පුද්ගලයෙක් යම් දේකට බැඳීමක් පවතින විට එමගින් ඔහුට සිදුවන ප්‍රතික්‍රියාවන්ගෙන් මිදී අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට අඥාතභාවය භාවිතා කල හැක. 
  • ප්‍රජාතාන්ත්‍රවාදී නොවන රටක ඔබට රාජ්‍ය විරෝධී අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් ඔබ අනිවර්යයෙන් අඥාතභාවය හෝ ආරඪත්වය භාවිතා කල හැක. 
  • ඔබට ඔබගේ පෞද්ගලික දේවල් (ලිංගික ප්‍රශ්න ආදී) ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අඥාතභාවය හෝ ආරූඪත්වය භාවිතා කල හැක. 
  • මට සිතෙනා අන්දමට අඥාතභාවය හෝ ආරූඪත්වය භාවතකරන වේදිකාවක හැමදෙනාම එක හා සමාන වේ. එවිට ඔවුන්ගේ අදහස් වලට ස්ත්‍රී පුරුෂ භේදයක්, සංස්කෘතික බන්ධන අදාල නොවන අතර හොඳ කතිකාවතක් ගොඩනැගීමේ හැකියාවක් පවතී. 
  • අඥාතභාවය හෝ ආරූඪත්වය පර්යේෂණ සඳහා භාවිතා කල හැකි වන අතර විවිධ චරිත ගොඩනගා ගනිමින් සමාජීය පර්යේෂණ සිදුකල හැක. 

අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
  • මූලික අපරාධ සිදුකිරීම හෝ එයට අනුබල දීම උදෙසා අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැක. එසේ එය යොදාගත් අවස්ථාද බහුලව ඇත. 
  • පුද්ගල චරිතවලට අපහාස කිරීම උදෙසාද අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැකිවන අතර  එසේ සිදුවන අවස්ථාද විරල නොවේ. 
අඥාතභාවය හෝ ආරූඪත්වය බ්ලොග් අවකාශයට උවමනාද? 
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
  • ඔබ බ්ලොග් සටහන් වල පිලිතුරු ලෙස ඔබ හොඳ පමණක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ කවදාවත් අඥාතභාවයට හෝ ආරූඪත්වයට ඉඩ නොදී සිටී. 
  • තවද ඔබ සංස්කෘතික රාමුවක සිටීනම් සරලවම කුණුහබ්බ කියනවාට අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි. 
  • එසේත් නැතිනම් ඔබ කවුද යන්න පෙන්වාදීමට අකමැතිනම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි. 
  • තවද ඔබ දාගෙන ඉන්නේ වෙස්මූණක් සහ ඒ වෙස් මූණ ගැලවෙනවාට ඔබ අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.  
ඔබේ බ්ලොගය තුල අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප වනවානම් ඔබ ඔය කුමන කැටගරියේදැයි ඔබම තීරණය කරන්න.

බ්ලොග් අවකාශය එදිරිව අඥාතභාවය හා ආරූඪත්වය. 
                 වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.

                  මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
                බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
                මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
              ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.
  • එකක් ඔබගේ වෙස්මූන ගලවා සැබෑ මුහුණ පේන්නට දෙන්න. 
  • නැතිනම් කවදාවත් සැබෑ මුහුණ පෙන්නට නොදෙන්න. 
  • එසේත් නැතිනම් ඔබත් ඔබගේ වෙස් මුහුණ සැබෑ මුහුණයැයි විශ්වාස කරන්න. (ගොබෙල්ස් න්‍යාය)
  • නැත්නම් අවංකවම ඔබ එම බ්ලොග් නොබලා ඉන්න. ඔවුනට හිට්ස් දීමෙන් වලකින්න.
ඔබ ජයග්‍රාහකයෙකු වනු ඇත.. .

Nov 5, 2012

කර්ම කරුමයක් නොවේ..

සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි.

කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න හැරුණුකොට තව කිහිපදෙනෙකුට පමණී.

චිත්‍රපටිය ආරම්භ වන්නේ අන්ත දෙකකිනි. එය පියල්ගේ අන්තය සහ අමන්දාගේ අන්තය ලෙස වෙන්කරගත හැක. කර්ම කතාව තුල විවේකය දක්වා "තරන්තිනෝ ලක්ෂණය" ප්‍රකට වේ. නමුත් අන්ත දෙක විවේකයේදී එකතු වේ. පියල්ට අමාගෙන් ලැබෙන්නේ පියල්ට නොලැබෙන කාමයයි. එය අමන්දාගේ ගීත ගායනයකට සවන්දීමෙන් අමා නානවිට අමාගේ නානකාමරය තුලින් එන ජලයට කකුල තැබීමෙන් සංසිදවන්නේ නැත. පියල් අමාගේ කාමරයට එබී බෙල්ල කඩාගන්නේ ඒ නිසාය.

අමාගේ අන්තයේ පියල් තවත් එක් පොඩි එකෙක් පමණකි. අමා හුදකලා යුවතියකි නදීගෙන් කාමයට වඩා යමක් ලැබෙන්නේ නැත. අමා ඒ රැකවරණය සොයන්නේද නැත. නමුත් පියල් එන්නේ මොකාටද කියා අමා දනී. අමාගේ පාර්ශවයෙන් පියල් යනු පොඩි එකෙකි. එය මානුෂීයය. අමා පියල් සමග සංවාසයේ යෙදෙන්නේද එම මානුෂික සම්බන්ධතාවය නිසා විය යුතුය. අමාගේ අන්තයෙන් බැලූ කල අමා පියල් සම්බන්ධතාවය තරමක් සංකීර්ණය.

පියල්ට සිය මව මගහැරේ. අවුරුදු 25 තරුණයෙක් පියා සමග පවතින අරගලය පියල්ටත් පවතී. එය සිය මවගේ මරණය ගැන වරද පියල් විසින් පියාගේ පිට පැටවීම මත දෙදෙනාගේ ඇතිවන මත ගැටුමක් ලෙස ප්‍රසන්න පෙන්වා දේ. කෙසේ වෙතත් පියල්ගේ සිය මවගේ මරණය පිලිඹඳ වරදකාරී හැඟීමක් පවතී. එය අවසානයේ අමන්දාගෙන් සමනය කරගැනීමට පියල් විසින් උත්සාහ කරයි.

කර්ම තුල ලියුම්කරු ආසා කරණ විශේෂ ලක්ෂණ කිහිපයකි. අමාගේ චරිතයේ විහිදීම ඉන් ප්‍රධාන වේ. අමා කොලඹ ඉංග්‍රිසි කතා කරන පරපුර නියෝජනය කරයි. අමා ස්වාධීනය. නදී අමා හැරගිය විටත් අමා විසින් පියල්ට දුක ප්‍රකාශ නොකරන්නා සේම පියල් අමා සම්බන්ධතාවය "ඉලෙක්ට්‍රා" සම්බන්ධතාවයකි. පියල් තුල අමා කෙරෙහි පවතින මුල් හැඟීම අනිකක් වුවත් අමා තුල පවතින හැඟීම මුල සිටම "මාතෘ" රූපීය.

සිද්ධි ගැලපීම දෙවනුවට ගත හැක. අමාගේ ගබ්සාව සිදුවීමට පෙර සල්ලිවලට ගාළු කොටුවෙන් මුහුදට පනින කොලු ගැටයන් සමග බැඳෙන අවිනිශ්චිතතාවය අමාගේ සැඟවී සිට අවසාන ජවනිකාවෙන් එලියට පනින රෝගය සහ මුල් අර්ධයේ ප්‍රකට වන තරන්තිනෝ ලක්ෂණය ඒ යටතට දැමිය හැකිය.

අවසානයේ නදීගේ චරිතයයි. නදීගේ චරිතයට නදීක ගුරුගේ තෝරාගත්තේ ඇයිද යන්න ලියුම්කරුට තාම ගැටළුවකි. කෙසේ වෙතත්. නදීගේ චරිතයට නදීක ගුරුගේ විසින් කෘතිමත්වයක් ආරූඪ කරයි. එය අධ්‍යක්ෂකගේ වරදක් හෝ අමාට හා පියල්ට නදීව යටවීම නිසා සිදුවන්නක් විය හැක. කෙසේ වෙතත් ඒ චරිතය නදීකගෙන් නියම ආකාරයට එලියට එන්නේ නැත.

කෙසේ වෙතත් කර්ම නැරඹිය යුතු චිත්‍රපටි ගණයට මම ඇතුලත් කරමි. සිරා කියලා කට ඇර කිව නොහැකි වුවත් කර්ම හොඳ චිත්‍රපටියකි. මේ ලිපිය හුදෙක්ම එය නැරඹීමට කරන අනුබලයකි.