පෙම්වතා පොහොසත් වන අතර පෙම්වතී දුප්පත්ය.
අනෙකේ පෙම්වතා දුප්පත් මුත් පෙම්වතී පොහොසත්ය.
එකල්හී පෙම්වතී පෙම්වතාගේ පියා යටතේ රැකියාව කරයි.
නැතහොත් පෙම්වතා පෙම්වතීගේ පියා යටතේ රැකියාව කරයි.
එමනිසා දෙමාපියන් කසාදයට අවුල්ය.
එමනිසා දෙමාපියන් . . . . පවසා ඵලක් නැත.
එකම යෝගට් කෝප්ප අච්චුවට වැලි පුරවා වැල්ලේ මාලිගා සාදා ඇථ. ක්ෂණයකින් ඒ මුහුදු රැල්ලෙන් සේදී යයි. පෙම්වතා හෝ පෙම්වතී ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පවුලෙන් පැමිණෙන බාධක මැඩගෙන විවාහ ගිවිස ගත් පසු සභාතොමෝ සතුටින් විසිර යන අතර කතාවද අවසන්ය.
පෙම්වතිය හොටු නිළියකි. උදයට අවදි වනුයේ පෙර දින පෙම්වතා පැවසූ දෙයකට හොටු හලාගෙනය. ඉන්පසු රැකියාවට පිටවීමට පෙර පියා පැවසූ දෙයකට හොටු සලයි. ඉදින් රැකියාවට ගොස් ඒ අතරතුර එහි ඉන්නා උන් කරනා කෙනෙහිලිකම් වලට හොටු සලයි. අවසන හොඳම යෙහෙලිය හමුව උක්ත කාරණා සියල්ලම පවසා හොටු සලයි. අවසන සිනහවෙමින් රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ගනියි.
පෙම්වතා එසේ නොවේ. බොහෝවිට ඔහු වීරයෙක් වන අතර කලාතුරකින් අහින්සකයෙකි.වීරයා හෝ අහින්සකයා හෝ මොකා වුව පෙම්වතා හරිම රෙස්පෙක්ට්ය. ගැහැණුන් ඔහු වෙත පැමිණ අඟර දඟර දමයි. ඔහු ගණනකට නොගනියි. සියල් සපිරි ලඳුන් පැමිණ අත ඇල්ලුවද ඔහු අත ගසා දමා අහක බලාගනියි. වීරයා නම් මෝටර් සයිකලයෙන් දෙවරක් යයි එයි. අහින්සකයා නම් ලාදුරු රෝගියෙකු සේ සියළු දුක් කම්කටොළු විඳගෙන සිටියි. කෙසේ හෝ කොපමණ ලඳුන් සිටියද පෙම්වතා පෙර සඳහන් කල හොටු ගැහැණිය පසුපසම යයි.
මෙගාව වගා කිරීමට නම් ජෝකර් කෙනෙක් අවැසිමය. පෙම්වතාගේ මාමා, පෙම්වතාගේ යහළුවෙක්, දුෂ්ඨයාගේ පියා, ගෙදරක වැඩ කාරයෙක් නැමැති ඕනෑම භූමිකාවක් තුලින් ඌ මතු කල හැකිය. නැතිනම් මෙගාව වගා කල නොහැක. නැතිනම් නාට්ටියම හොටු පමණකි.
පෙම්වතා හෝ පෙම්වතිගේ ආර්ථිකය මත දුෂ්ඨයා තීරණය වේ. එය ලස්සන මතද තීරණය විය හැක. දුෂ්ඨයා කවර ලිංගික වුවද ඇත්තේ දෙබිඩි ගතිය. පිරිමියා පිරිමියෙකු සේ හැසිරෙන අතර මායම් යොදයි, ඕපාදූප සොයයි, කේලම් කියයි. ගැහැණියද එසේමය; පිරිමි ගති ගුණයෙන් ආඩ්‍යය. ඒ හේ දුෂ්ඨයෙකු නිසාවෙනි.
අවශේෂව අම්මා, අප්පා, සහෝදර සහෝදරියන්ට සහ මෙහෙකරුවන්ට ලෝ බජට් නළු නිළි සෙට් එකක් යොදාගත් කල ටෙලිය සම්පූර්ණය. අධ්‍යක්ෂක සපයන්නේ විකාශය වන චැනලයෙනි. සංගීත වැඩ කටයුතු සඳහා අදාල චැනලයේ රියැලිටි වැඩසටහන් වලින් පිරිස් බලය ලබා දෙයි. පිටපත ලෙස මල් පොතක් හෝ සතියකට එපිසෝඩ් පහක් ලියන රැකියා විරහිත උපාධිදාරියෙක් සෙට් කරගත හැක.
ටෙලිය ගොඩය. තවම නැත. අනුග්රාහකයන් සොයා ගත යුතුය.
අනුග්‍රාහකයා බීම කොම්පැණි කාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ බීම බොයි.
අනුග්‍රාහකයා ශැම්පු කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ ෂැම්පුම යොදා නායි.
අනුග්‍රාහකයා ෆෝන් කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී එම දුරකතනයකින්ම SMS කොටයි.
අනුග්‍රාහකයා දුරකතන ජාල පහසුකම් සපයන්නෙකු නම් ටෙලිය අවසන් පෙම්වතී ජාල සම්බන්ධය සමග ඉගිල යයි.
සිරස ටී.වී. හි "සිහින පුරය" සහ ජාතික රූපවාහිනියෙහි බොහොමයක් කතා අච්චුව ඒකාකාර වුවද අන්තර්ගතයේ එක්තරා නවමු බවක් සහ පණිවිඩයක් ඇත. එය හොඳ සළකුණකි. නමුදු සිරස ටී.වී. හි අනෙකුත් ටෙලි කතා ඇතුළුව ටී.වී. දෙරණ, ස්වාධීන රූපවාහිනී සහ, ස්වර්ණවාහිනී මෙගා ටෙලිකරණය අතින් ළිං පතුලේය. චැනලයන්ගේ අනෙකුත් මාණයන් පිලිබඳ මෙම ලිපියෙහි සංවාදයට බඳුන් නොවන වග කරුණාවෙන් සලකන්න. දූදරුවෝ, කන්දෙ ගෙදර, අන්දර වැට, ඉංගම්මාරුවහි තේමාවන් සහ අනෙකුත් සියළු ගුණාංගයන් සමග සසඳන කල නූතන ටෙලි නාට්‍යකරණය අතිශය පහල බැස ඇත. එම පහල බැස්ම උදෙක් මෙගාව නිසා සිදුවූවක් ලෙස ඇතමුන් චෝදනා කලද , එය එසේ යැයි නිශ්චිත නැත. නමුත් ඉහලින් දැක්වූ උදාහරණ සහ සසඳන කල එය එසේ නොවන්නටද බැරි නැත.
එය එසේ වනවා නම් එය ප්‍රතික්ෂේප නොවන්නේ ඇයි දැයි ගැටළු සහ සැක උපදී. දැන් ටෙලි නාට්‍ය යනු ඇඩ්වටයිසින්ම පමණක්ම වන සෙයක් හැඟෙන අතර, එයට හඬ නගන්නට සිටි මහේන්ද්‍ර පෙරේරලා වැනි අතලොස්සක්ද සැඟවී ඇත. එය මර්ධනය කිරීමකට ලක්ව ඇත්දැයි තවත් නිශ්චිත නැති මුත් මහේන්ද්‍ර පෙරේරා මෙගා ටෙලියක මා තව දැක නැත. දැන් මෙගා නොවන ටෙලියකුත් සොයා ගැනීමට නැත. මීඩියා හී අවශ්‍යතාවයට අනුග්‍රාහකයන්ට මුදලට විකුණා අපට නොමිලේ දෙන විකිණීමේ න්‍යාය ප්‍රතික්ෂේප නොවන්නේ ප්‍රේක්ෂකයන් වන අප දෙන දේ බලා පැයක් පහු වී වේලක් කා නිදයන නිසාද? ඒ වෙනුවෙන් හඬ නැගිය යුතු කළා කරුවන් වැල යන අතට උරිස් ශක්තිය දෙන නිසාද? මේ අප සිදුකරන වැරැද්දක්ද? අප ඉදිරියේ සිදුවෙමින් පවතින වැරැද්දක්ද? අප යොදා සිදු කරවන වැරැද්දක්ද? විමසිය යුතුමය.
May 18, 2011
ආදර මෙගා
Posted by Rachintha Jayawardhana on 7:00 AM. කලාව,ටෙලි නාට්‍ය - 4 comments
4 ගල්මුල්:
ඔය ඔක්කොටම හපන් ගොඩක් ඒවයේ රඟපාන උන් රඟපාන හැටි දැක්කම එපා වෙනවා. සමහර උන් අඩන හැටි දැක්කම අපිට හිනා යනවා. ඇත්තටම අර ඉස්සර ගියා නාට්ටි බලන්න බලන්න ආසා හිතෙනවා. දඩුබස්නාමානය එහෙම මම අදටත් බලන් ආසයි. ඒකට දැන් යන ඒවා බලන්න බලන්න එපා වෙනවා
ඔක්කොම මෙගා කක්කා.....සිරස පටන් ගත්තු වැඩේ සිරසට බැන බැන අනිත් උනුත් කරන්නේ උන් ෆේමස් වීමේ පට්ට ඕනෑකමකින්.
සිහින පුරය පොඩි වෙන්සක් තියෙනවා.ඒත් පරන අච්චුවක්ම තමයි.
තව එකක්...ඔය ටෙලියකට ඇදුම් හොරකම් කරන නිලියක් දාගත්තොත් වැඩේ ගොඩේ ගොඩ...
මෙගාව ප්‍රතික්ෂේප කරන්නන්ට වඩා මෙගාව වැලඳ ගන්නන් ඉන්නවා කියලා තමා මම නම් පෞද්ගලිකව හිතන්නේ. නැත්නම් කවුරුත් බලන්නේ නැත්නම් ඕක ෆේල් වෙලා නවත්තන්න වෙනවා. මම හිතන්නේ මෙගාවට ශ්‍රාවකයෝ පිරිසක් ඉන්න නිසා තමා තාම මෙගා දුවන්නේ. ඉතින් මේක චැනල්වල වැරැද්ද නෙමෙයි. බලන උන්ගේ වැරැද්ද. මරු...
හේතුව බාල රස වින්දනයයි. අද රටේ හැම දෙයක් ම බාලය. බාල පෙට්‍රල්, බාල සිමෙන්ති, බාල බෙහෙත් ඖශද, බාල ප්රශ්නපත්තර, මේවා සියල්ල දැන් පොදු ජනතාවට සාමාන්‍යකරණය වී අවසන්ය.බාල දේශපාලකයන්ගේ බාල වැඩ බාල ජනමාද්‍ය මගින් වීරකම් බවට පරිවර්තනය කෙරෙමින් ඇත. ඒ සියල්ලම බාල ආණ්ඩුවක් පවත්වා ගැනීම සඳහා පවතින ආණ්ඩුව විසින් ගැහු උප්පරවැට්ටිය. මිනිසුන් බාල දේවල් වැළඳගන්නා තෙක් උසස් දේවල් තුට්ටුවකට මායිම් කරන්නේ නැත. උන්ට අන්න ඒ මොලේ පෑදෙන එක වැලැක්වීම බලය රඳවා තබා ගැනීමට නම් අනිවාර්යෙන් කල යුතුය. මෙගා විසින් ඉටුකරන්නේද මේ අවශ්‍යතාවය ය .
Post a Comment