බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 20, 2011

එන්න ගොන්පාට් වෙන්න..

කළුතරට නුදුරුව කළුගල් මෝලකි. එය කොටුවේ වෙරල ගොඩ කිරීමට ගෙන එන කළුගල් නැවට පටවන ස්ථානයයි. රෑ ජාමේ පුරු එතැන් සිට කිලෝමීර පහක් පමණ ඈතින් සිටින අපට කළුගල් පටවන හඬ ඇසේ. ලඟ සිටින මිනිසුන්ට කුමක් සිතෙනවා ඇද්ද?
බම්බලපිටියේ සිට මතුගම බලා දිවෙන බසයකි. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. රියදුරු තැන තවත් මගීන් 20 පමණ ගැනීමට රත්මලානේ නතර කරයි. 
පිටිදුවේ සිරිධම්ම හිමියන් සකෘදාගාමී හෝ අනාගාමී වී ඇත. තව නොබෝ දිනකින් එතුමා රහත් වනු ඇත. 
එක් මාධ්‍යයක් දුමින්ද සිල්වා වැරදියැයි කියයි. තවත් මාධ්‍යයක් වෙන එකක් කියයි. රජයේ මාධ්‍ය වෙනම කතාවක් කියයි.
සියළු රූපවාහිනි චැනලවල රාත්‍රි 8 පසූවීමෙන් පසු ප්‍රවෘත්ති රියැලිටි හා මෙගා ටෙලි විකාශය කරයි.. 
ඉහත පෙන්වාදුන් කාරණාවල පවතින සමානකම කුමක්දැයි විමසුවොත් දිය හැකි පිලිතුර වන්නේ අවස්ථා සියල්ලකදීම සමාජයේ ජීවත්වන මිනිසුන් බල්ලාට දමා ඇත කියාය. බස්රථයක ගියත් මේ යන්නේ මිනිසුන් යැයි හැඟීමක් නැත. බස් රථයේ යන මිනිසුන් ගෙදර ගිය පසු ඒ දෙයම තවත් මිනිස් කොට්ඨාශයකට සිදුකරයි. එයට විරුද්ධ වන්නා දෙස බලාගෙන අනෙක් මිනිසුන් දත නියවයි. මේ ලංකාවේ හැටිය. ලංකාවේ වෙසෙන්නන්ට අයිතිවාසිකම් නැත. එක්කෝ ඒවා උන් විසින් අහිමි කරගෙන ඇත. නැත්නම් කවුරුන්හෝ ඒවා අස්ථානගත කර ඇත.
ලියුම්කරු ලඟදී ගිය දේශනයක රසවත් කතාවක් ඇසුවේය. දකුණු ආසියානු රටවල් වල මිනිසුන් තරම් පද්ධතියට හුරුවූ මිනිසුන් කොහේවත් නැත. ඔහු එයට උදාහරණ කර පැවසුවේ ඇම්බියුලන්සයක් මගදී නැවතී එය පණගන්වන්නට එයට තල්ලු දමන රෝගියෙකි. එතරම්ම හෝ ඊට මදක් අඩුවෙන් අපි මේ පද්ධතියට හැඩ ගැසී අපව ගොන්පාට් කරන්නට ඉඩදී ඇත.
ලිපිය අවසාන කරමි. මෙහි අරමුණ පද්ධතිය වෙනස්කිරීමවත් හෝ අදාල සිද්ධි නැවැත්වීම නොවේ. මෙය ලියැවෙන්නේ ඒවා එසේ වෙන බව දැන දැන නොලියා සිටීමේ නොහැකියාව නිසාවෙනි...

Oct 10, 2011

වල්පොල වෙඩි තැබීම පිලිඹඳ ප්‍රවෘත්ති ඇසුවෙමි..

වාසනාවකට Rewind කිරීමේ හැකියාව තිබුනු නිසා චැනල කිහිපයක ප්‍රවෘත්ති බැලීමේ අවකාශය උදාවුනි.. මේ ඒ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව ලියුම්කරුට වැටහුන දේය..

සිරස TV 
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා පාරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී දෙපිරිසක් වෙඩි තබාගෙන අතරමැද සිටි භාරත ලක්ෂ්මන් මහතාට සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තිබුනි.

රූපවාහිනී. 
වල්පොල වෙඩි තැබීමක් සිදුවී ඇත. කෙසේ නමුත් දුමින්ද සිල්වා මහතාට හා භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි වැඩී ඇත. වෙඩි තැබූ පාර්ශව තාම හඳුනාගෙන නැත

ITN
භාරත ලක්ෂ්මන් මහතාට හා දුමින්ද සිල්වා මහතාට තෙවන පාර්ශවයක් වෙඩි තබා ඇත. ඒ ගැන පොලිස් පරීක්ෂණ පවත්වයි..

ස්වර්ණවාහිනී
දරුණුම ප්‍රචන්ඩක්‍රියාව මුල්ලේරියාවෙන්. දුමින්ද සිල්වා මහතා හා භාරත ලක්ෂ්මන් මහතා ගේ පිරිස් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

අනෙකුත් චැනල බලන්නට වූයේ නැත. ස්වර්ණ වාහිනිය නොබැලුවා නම් තාමත් සිදුවූ දෙය නොදනී. කලබල වූ පිරිස් පොලිස් වාහනයක් ගිනිතිබ්බේ ඇයිදැයි තාමත් ගැටළුවකි. පත්කල කමිටුවේ පරීක්ෂණය අවසන් වන තුරු ලියුම්කරුද බලා සිටී..

පලි :
මෙයින් ස්වර්ණවාහිනිය හොඳ බවක් නොකියවේ. මේ කාරණය ගැන මදක් හෝ පැහැදිලි ඉදිරිපත් කිරීමක් සිදුවූයේ එයිනි. නමුත් එය වාර්තාකරණයක් නොවේ..

Oct 4, 2011

කූරගල ආගමික ගැටළුව..

මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක් සමග ආගමක් බවට පත්වීම සිදුවී ඇත. අපි උපදින විට අපිට ආගමක් හිමිවන්නේ එහි අතුරුඵලයක් වශයෙනි.

කතාව මෙසේ වුනත් සෑම මිනිසෙකුටම ආගම ඇදහීමේ අයිතියක් ඇත. අදාල දර්ශනය ප්‍රශ්න කිරීමකින් තොරව ආගමක් ඇදහීම ලියුම්කරු විශ්වාස නොකලත් ආගමක් ඇදහීමේ පුද්ගලික නිදහස ලියුම්කරු අගය කරයි. ඉහත කරුණේ ප්‍රතිඵලයක් ලෙස ආගම් කිහිපයක් ලෝකය තුල බිහිවන අතර ඒ තුල මිනිසුන් බෙදීගොස් බෙදුම්වාදයක් ඇරඹී ඇත. ආගම යනුවෙන් ලියුම්කරු හඳුන්වාගන්නා කරුණ මෙයයි. 
ලියුම්කරු මෑත දිනයක් කූරගල ගියේය. කූරගල බලන්ගොඩ සිට කල්තොට පාරේ කිලෝමීටර් 22 එසේත් නැතිනම් තණමල්විල හම්බේගමුව සිට කිලෝමීටර  40 පමණ දුරින් පිහිටි ශුෂ්ක කලාපයට අයත් ගම්මානයකි. බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 22 ගිය තැන තැන්න හමුවේ. කූරගලට ලඟාවීමට නම් තැන්නේ සිට කිලෝමීටර දෙකක් ඇතුලට ගමන් කල යුතුය. කූරගල චාරිකාව ගැන සවිස්තරාත්මක විස්තරයක් වැප්  විසින් සටහන් කර ඇති බැවින් ඒ පිලිඹඳව දීර්ඝ ලෙස කතාකිරීම නිශ්ඵල බැවින් ලියුම්කරුට හුදෙක් කූරගල ගැන දැනුන දේ මෙම ලිපියට එකතු කරමි..

ආගමික හා ශාසනික ඇසකින් බලනවිට කූරගලින් සිදුවී ඇත්තේ බෞද්ධයින්ට අසාධාරණයකි. එයට වගකිව යුත්තේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවය. කූරගල පුරාවිද්‍යා භූමියකි. එය තුල පුරාවිද්‍යා ගවේෂණ සඳහා බාධාවන සියළු ඉදිකිරීම් ඉවත් කල යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කොටින්ම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂන එහි පැවැත්වෙන බවක් නොදුටුවෙමු. නමුත් අපිට නොපෙනී පර්යේෂණ පැවැත්වුනාද යන්න පිලිඹඳ ලියුම්කරුට විශ්වාසයෙන් කිව නොහැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිඹඳව පියවරක් නොගතහොත් ඊළඟට සිදුවන සිද්ධි පිලිඹඳ වගකීමට සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
දෙවනි කරුණ මෙය බෞද්ධ සිද්ධස්ථාන ගණයට වැටෙන්නේ නම් බෞද්ධයන් කූරගල වන්දනාවට යා යුතුය. කෙසේ වෙතත් අපි ගිය දිනය තුල මුස්ලිම් නඩ කිහිපයක් දුටු නමුත් බෞද්ධ නඩයක් නම් දුටුවේ නැත. බෞද්ධ නඩ නොයාම යනු කූරගල යාමට බෞද්ධයන්ට වුවමනාවක් නැති කම ප්‍රදර්ශනය කිරීමකි. එය එසේනම් අදාල අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට එය බාරදීමට බෞද්ධයින්ට සිදුවේ. ඒ මන්ද යත් අනවශ්‍ය දෙයක් අයිතියේ තමා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසාය. 
ආගමක් අනවශ්‍ය බව සැබෑය. ඒත් ආගම යනු මිනිස් අයිතිවාසිකමකි. කූරගල එරෙහිව හඬ නගනා උන් ඊට පෙර කූරගල අපිට ඇත්තටම අවශ්‍යදැයි නිශ්චය කරගත යුතුය. ශ්‍රී පාදය තුල බහුලව පවතින්නේ බෞද්ධ පන්සල් සහ හින්දු දේවාල පමණක් වුවත් මුස්ලිම්වරුන්ද ශ්‍රීපාදය වන්දනා කරයි. ඒ ඔවුන්ට ආගමිකව ශ්‍රීපාදය අවශ්‍ය නිසාය. බෞද්ධයින් වුවද කූරගල අවශ්‍යතාවය තේරුම් ගත යුතුය. එවිට කූරගල බහු ආගමික ස්ථානයක් ලෙස පැවැත්මක් පවතිනු ඇත. බෞද්ධයින්ට බෞද්ධ ඉතිහාසය හා ඉස්ලාම් ලබ්ධිකයින්ට ඔවුන්ගේ ඉතිහාසය කූරගලින් ලිවිය හැකි වනු ඇත්තේ එවිටය. ලියුම්කරුද සිටින්නේද ඒ අදහසේය. 

ගැටළුව මගහැරිය හැකි එකට තැන වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත් ඉස්ලාම් අයිතිය ගැන බෞද්ධයින් ප්‍රශ්න කරන්නේ නම් එය විසඳීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයකි. මෙහි ආරවුල විසඳිය හැක්කේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. 
එසේනම් මෙය ආගම් දෙකක් මරාගන්නා තත්වයට මුල් අදින තෙක් නොසිට සුදුසු විසඳුමක් විවේචන අපි විසින් බලාපොරොත්තු වෙමු... 

Aug 29, 2011

ගාමනී බැලීම සහ කියවීම...

1999 ගෝනගල සිදුවුන 57 දෙනෙකුගේ ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේඡ ක්‍රියාවලින් එකක් ලෙස ලියුම්කරුද හඳුනාගනී. නමුත් සැබවින්ම ගාමනීගෙන් සාකච්ඡා වන්නේ එයදැයි චිත්‍රපට ශාලාවේ එලියට බසින තෙක් ප්‍රශ්නාර්තයක් රැඳුන නිසා එය විශ්ලේෂනයෙන් පසු මෙසේ ලිපියක් ලෙස එම සිතුවිල්ල එලියට පැමිණේ.
ගාමනී චිත්‍රපටියේ අධ්‍යක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකරයන්ය. එතුමා සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇතිවාක් මෙන්ම මෙම කතාවට එකල ග්‍රාමාරක්ෂක බලකාය ඈඳෙන්නට එයත් ප්‍රබල හේතුවක් වන්නට ඇත. ගාමනී ඇරඹෙන්නේ සත්‍ය සිද්ධියක් ලෙසය. නමුත් චිත්‍රපටයේ සත්‍ය සිදුවීම ගෝනගල ඝාතනය පමණකි. එනම් මුල් අර්ධයෙන් පැය බාගයක පමණ කොටසකිය. ඉතුරු කොටස ප්‍රබන්ධයකි.
ස්වදේශ ආරක්ෂක සේවය ග්‍රාමාරක්ෂක සේවය බවට පත්වීමත් සමග එහි වෙනසක් සිදුවන්නේ 2006 සිදුවන කැබිතිගොල්ලෑව බෝම්බයත් සමගය. ඉන්පසු ග්‍රාමාරක්ෂක සේවය සිවිල් ආරක්ෂක බලකාය ලෙස වෙනස් වන අතර එවකට 19000ක් වූ භට පිරිස 41000 ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීම සිදු කරනු ලබයි. චිත්‍රපටයේ මුල් අර්ධයට පසු ඇත්තේ ප්‍රබන්ධයක් වන්නේ එනිසාය. එනිසා ගාමනී සත්‍ය කතාවක් යැයි කවුරුන් හෝ විස්වාස කරයි නම් එය බැහැර කිරීම මැනවි.
සිවිල් ආරක්ෂක සේවය යනු චිත්‍රපටියක් තුල කතා කලයුතු මාතෘකාවන්ය. සිවිල් ආරක්ෂක භටයා සිවිල් ආරක්ෂක සේවයට එලඹීමේ පටන් ඒ තුල කතාවක් පවතී. මක් නිසාද යත් ගමට ආදරෙන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන්නේ ඉතා අල්පයක් බැවිනි. ඔවුන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන මූලික හේතුව ඔවුනට හමුදා සේවයට එක්වීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොමැති නිසාය. එක් වරක් තන්තිරිමලේ සිදුකල වැඩමුළුව හා සබැඳුන අත්දැකීම් සමග එකල ග්‍රාමාරක්ෂක සේවය කොතරම් දුරට ගමතුල විහිදී ගියාද යන්න පිලිඹඳ යම් අදහසක් ලියුම් කරුට ලබාගත හැකිවිය. එම ජීවිත තුල චිත්‍රපට බරගානකට කතා තේමා ඇත. නමුත් සරත් වීරසේකරයන් සුප්‍රසිද්ධ වානිජ තේමාවකට ගාමනී තුල සිරවී ඇත.
ගාමනී කතා තේමාව විවිධ පැතිකඩ ඔස්සේ ලියුම්කරු චිත්‍රපටි ඔස්සේ දැක ඇත. ඔබ අනූව දශකයේ හින්දි චිත්‍රපට නැරඹා ඇත්නම් ගාමනී කතා තේමාව වෙන වෙන ලේබල් ඔස්සේ රසවිඳ ඇතිවාට සැකයක් නැත. ගාමනී ගේ වෙනස වන්නේ පොදු කතා තේමාවට වෙනස් අයිසිං තට්ටුවක් ආලේප කිරීමයි. නමුත් ගාමනී ඔබ කලින් නරඹන ලද ඒ චිත්‍රපටයම වේ.
සංගීතය හා කැමරාකරණය චිත්‍රපටයට සාධාරණයක් ඉටුකරන අතර සටන් ජවනිකා තුල නම් ගාමනී කියා වෙනසක් නැත. සංගීතය තුල නදීක ගුරුගේ අනන්‍යතාවය බිඳ වැටේ. නමුත් එය උදිත ජයසිංහගේ සංගීතය නම් ඉතා සතුටුදායක තත්වයකි. මන්දයක් කැමරාකරණයෙන් හා සංගීතයෙන් චිත්‍රපටයට යම් සාධාරණයක් ඉටු කරන නිසාය.
අවසාන වශයෙන් කිව යුත්තේ ඔබ යන්නේ ගාමනී තුලින් වෙනසක් දැකීමට නම් එය ඵල රහිත ක්‍රියාවකි. ඔබ යන්නේ තවත් වානිජ චිත්‍රපටියක් නැරඹීමට නම් ඔබ ගාමනී නැරඹුවාට ගැටළුවක් නැත. නමුත් කතා තේමාව අනූව දශකයේ හින්දි චිත්‍රපටි තේමාවම වේ. එය ලංකාවේ රාමුවට ගෙන ඒමේදී සරත් වීරසේකරයක් යම් තරමක් සාර්ථකය. නමුත් චිත්‍රපටයක් මෙසේ විය යුතු නැත. නමුත් ලංකාවේ මෑත කාලයේ ආකාස කුසුම් චිත්‍රපටියට පසු බැලීමට ටිකක් හෝ සිතෙන චිත්‍රපටි ගොන්නට මම ගාමනී ඇතුල් කරමි. නමුත් ආකාස කුසුම් හා හැරෙන්නට ගාමනීට නොහැක...

May 18, 2011

ආදර මෙගා

පෙම්වතා පොහොසත් වන අතර පෙම්වතී දුප්පත්ය.
අනෙකේ පෙම්වතා දුප්පත් මුත් පෙම්වතී පොහොසත්ය.

එකල්හී පෙම්වතී පෙම්වතාගේ පියා යටතේ රැකියාව කරයි.
නැතහොත් පෙම්වතා පෙම්වතීගේ පියා යටතේ රැකියාව කරයි.


එමනිසා දෙමාපියන් කසාදයට අවුල්ය.
එමනිසා දෙමාපියන් . . . . පවසා ඵලක් නැත.

එකම යෝගට් කෝප්ප අච්චුවට වැලි පුරවා වැල්ලේ මාලිගා සාදා ඇථ. ක්ෂණයකින් ඒ මුහුදු රැල්ලෙන් සේදී යයි. පෙම්වතා හෝ පෙම්වතී ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පවුලෙන් පැමිණෙන බාධක මැඩගෙන විවාහ ගිවිස ගත් පසු සභාතොමෝ සතුටින් විසිර යන අතර කතාවද අවසන්ය.

පෙම්වතිය හොටු නිළියකි. උදයට අවදි වනුයේ පෙර දින පෙම්වතා පැවසූ දෙයකට හොටු හලාගෙනය. ඉන්පසු රැකියාවට පිටවීමට පෙර පියා පැවසූ දෙයකට හොටු සලයි. ඉදින් රැකියාවට ගොස් ඒ අතරතුර එහි ඉන්නා උන් කරනා කෙනෙහිලිකම් වලට හොටු සලයි. අවසන හොඳම යෙහෙලිය හමුව උක්ත කාරණා සියල්ලම පවසා හොටු සලයි. අවසන සිනහවෙමින් රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ගනියි.

පෙම්වතා එසේ නොවේ. බොහෝවිට ඔහු වීරයෙක් වන අතර කලාතුරකින් අහින්සකයෙකි.වීරයා හෝ අහින්සකයා හෝ මොකා වුව පෙම්වතා හරිම රෙස්පෙක්ට්ය. ගැහැණුන් ඔහු වෙත පැමිණ අඟර දඟර දමයි. ඔහු ගණනකට නොගනියි. සියල් සපිරි ලඳුන් පැමිණ අත ඇල්ලුවද ඔහු අත ගසා දමා අහක බලාගනියි. වීරයා නම් මෝටර් සයිකලයෙන් දෙවරක් යයි එයි. අහින්සකයා නම් ලාදුරු රෝගියෙකු සේ සියළු දුක් කම්කටොළු විඳගෙන සිටියි. කෙසේ හෝ කොපමණ ලඳුන් සිටියද පෙම්වතා පෙර සඳහන් කල හොටු ගැහැණිය පසුපසම යයි.

මෙගාව වගා කිරීමට නම් ජෝකර් කෙනෙක් අවැසිමය. පෙම්වතාගේ මාමා, පෙම්වතාගේ යහළුවෙක්, දුෂ්ඨයාගේ පියා, ගෙදරක වැඩ කාරයෙක් නැමැති ඕනෑම භූමිකාවක් තුලින් ඌ මතු කල හැකිය. නැතිනම් මෙගාව වගා කල නොහැක. නැතිනම් නාට්ටියම හොටු පමණකි.

පෙම්වතා හෝ පෙම්වතිගේ ආර්ථිකය මත දුෂ්ඨයා තීරණය වේ. එය ලස්සන මතද තීරණය විය හැක. දුෂ්ඨයා කවර ලිංගික වුවද ඇත්තේ දෙබිඩි ගතිය. පිරිමියා පිරිමියෙකු සේ හැසිරෙන අතර මායම් යොදයි, ඕපාදූප සොයයි, කේලම් කියයි. ගැහැණියද එසේමය; පිරිමි ගති ගුණයෙන් ආඩ්‍යය. ඒ හේ දුෂ්ඨයෙකු නිසාවෙනි.

අවශේෂව අම්මා, අප්පා, සහෝදර සහෝදරියන්ට සහ මෙහෙකරුවන්ට ලෝ බජට් නළු නිළි සෙට් එකක් යොදාගත් කල ටෙලිය සම්පූර්ණය. අධ්‍යක්ෂක සපයන්නේ විකාශය වන චැනලයෙනි. සංගීත වැඩ කටයුතු සඳහා අදාල චැනලයේ රියැලිටි වැඩසටහන් වලින් පිරිස් බලය ලබා දෙයි. පිටපත ලෙස මල් පොතක් හෝ සතියකට එපිසෝඩ් පහක් ලියන රැකියා විරහිත උපාධිදාරියෙක් සෙට් කරගත හැක.

ටෙලිය ගොඩය. තවම නැත. අනුග්‍රාහකයන් සොයා ගත යුතුය.
අනුග්‍රාහකයා බීම කොම්පැණි කාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ බීම බොයි.
අනුග්‍රාහකයා ශැම්පු කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ ෂැම්පුම යොදා නායි.
අනුග්‍රාහකයා ෆෝන් කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී එම දුරකතනයකින්ම SMS කොටයි.
අනුග්‍රාහකයා දුරකතන ජාල පහසුකම් සපයන්නෙකු නම් ටෙලිය අවසන් පෙම්වතී ජාල සම්බන්ධය සමග ඉගිල යයි.

සිරස ටී.වී. හි "සිහින පුරය" සහ ජාතික රූපවාහිනියෙහි බොහොමයක් කතා අච්චුව ඒකාකාර වුවද අන්තර්ගතයේ එක්තරා නවමු බවක් සහ පණිවිඩයක් ඇත. එය හොඳ සළකුණකි. නමුදු සිරස ටී.වී. හි අනෙකුත් ටෙලි කතා ඇතුළුව ටී.වී. දෙරණ, ස්වාධීන රූපවාහිනී සහ, ස්වර්ණවාහිනී මෙගා ටෙලිකරණය අතින් ළිං පතුලේය. චැනලයන්ගේ අනෙකුත් මාණයන් පිලිබඳ මෙම ලිපියෙහි සංවාදයට බඳුන් නොවන වග කරුණාවෙන් සලකන්න. දූදරුවෝ, කන්දෙ ගෙදර, අන්දර වැට, ඉංගම්මාරුවහි තේමාවන් සහ අනෙකුත් සියළු ගුණාංගයන් සමග සසඳන කල නූතන ටෙලි නාට්‍යකරණය අතිශය පහල බැස ඇත. එම පහල බැස්ම උදෙක් මෙගාව නිසා සිදුවූවක් ලෙස ඇතමුන් චෝදනා කලද , එය එසේ යැයි නිශ්චිත නැත. නමුත් ඉහලින් දැක්වූ උදාහරණ සහ සසඳන කල එය එසේ නොවන්නටද බැරි නැත.

එය එසේ වනවා නම් එය ප්‍රතික්ෂේප නොවන්නේ ඇයි දැයි ගැටළු සහ සැක උපදී. දැන් ටෙලි නාට්‍ය යනු ඇඩ්වටයිසින්ම පමණක්ම වන සෙයක් හැඟෙන අතර, එයට හඬ නගන්නට සිටි මහේන්ද්‍ර පෙරේරලා වැනි අතලොස්සක්ද සැඟවී ඇත. එය මර්ධනය කිරීමකට ලක්ව ඇත්දැ‍යි තවත් නිශ්චිත නැති මුත් මහේන්ද්‍ර පෙරේරා මෙගා ටෙලියක මා තව දැක නැත. දැන් මෙගා නොවන ටෙලියකුත් සොයා ගැනීමට නැත. මීඩියා හී අවශ්‍යතාවයට අනුග්‍රාහකයන්ට මුදලට විකුණා අපට නොමිලේ දෙන විකිණීමේ න්‍යාය ප්‍රතික්ෂේප නොවන්නේ ප්‍රේක්ෂකයන් වන අප දෙන දේ බලා පැයක් පහු වී වේලක් කා නිදයන නිසාද? ඒ වෙනුවෙන් හඬ නැගිය යුතු කළා කරුවන් වැල යන අතට උරිස් ශක්තිය දෙන නිසාද? මේ අප සිදුකරන වැරැද්දක්ද? අප ඉදිරියේ සිදුවෙමින් පවතින වැරැද්දක්ද? අප යොදා සිදු කරවන වැරැද්දක්ද? විමසිය යුතුමය.

Apr 6, 2011

සයිබර් අවුරුදු උත්සවය, 2011


අවුරුදු උත්සවයක් කී විගසින් හිතට නැගෙන්නේ බනිස් කෑමක් අලියාට ඇහැතැබීමක් කණා මුටිටිය බිඳීමක් වැනි ප්‍රබුද්ධයින්ට සාපේක්ෂව ගොන්පාට් සමුදායකි. එනිසා මෙය සයිබර් අවුරුදු උත්සවය ලෙසින් ලියා ලිපිය ආරම්භ කරනුයේ අදාල අවුරුදු උත්සවය තුලද තිබුනේ ප්‍රබුද්ධයින් අනුකූලව ගොන්පාට් ලෙස අර්ථ දැක්වෙන එකී තරඟ නිසාවෙනි. එනම් මෙය අවුරුදු උත්සවයකි. අවශ්‍ය නම් ගැදරින් එකක් ලෙසද අර්ථ දක්වා ගත හැක.

උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.

නියම අවුරුදු උත්සවයක් යනු මෙය නොවන බව ලියුම්කරුද පැහැදිලිව පිලිගන්නා කරුණකි. නමුති අං ඇදීම, පොර පොල් ගැසීම, කිසිවෙක් නොදන්නා සන්දර්භයක් තුල පද්ධතියට අනුගත වීම විනා අන් විසඳුමක් නොමැති බව ලියුම්කරුද අත්විඳ ඇති කරුණකි. මෙහි දෙවන කරුණ වන්නේ දන්නා තරමින් අදාල සංවිධායකයින් කිසිවෙක් සංස්කෘතික වාදීන් හෝ සදාචාරවාදීන් හෝ ආගම්වාදීන් නොවන නිසා එකී අවුරුදු උත්සවයක් කිරීමේ අවශ්‍යතාවයක්ද නොපැමිණි බැවිනි. මෙය සදාචාරයට බැණ අඬගැසීමක් ලෙසද අදාල පුද්ගලයින්ගේ මනෝභාවයන් හා පරිකල්පනයක් ඔස්සේ කියවා ගත හැකිය.

රවුම් ගණනකට වැටයූ කල බ්ලොග් කරුවන් එකසිය හැටක් පමණ අදාල උත්සවය සඳහා සහභාගි වී තිබුනි. ඡායාරූප බැලූකල වැටහෙන්නේ බහුතරයක් දෙනා සිනාසෙමින් සිටිබවය. නමුත් හඬන්නන් නැතැයි කීමට තරම් ලියුම්කරුට ඒ ගැන අවබෝධයක් තිබුනේ නැත. කෙසේවෙතත් ලියුම්කරුගේ පෞද්ගලික අදහස නම් මිනිසා යනු සමාජශීලිත්‍ය සත්වයෙක් වන නිසා හඳුනාගැනීම් ආදී දේවල් ඔහු විසින් සිදු කරගත යුතු කාරණා බවය. තවකෙක් තමා වෙතපැමිණ කතා කරනතෙක් යමෙක් සිටීනම් පවතින සමාජයේ ඔහු හුදකලා වීම ප්‍රත්‍යක්ෂයකි. එය බක්මහ උලෙකට නොව වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා සත්‍ය වෙන කරුණකි.

ලියුම්කරු සංවිධායක මණ්ඩලේ සිටි හෙයින් පිටතින් පැමිණෙන්නෙක් මෙය කොයි ආකාරයෙන් ජීර්ණය කර ගත්තාද යන්න ගැන මනා වැටහීමක් නැත. එනිසා ඒ ගැන කතා කිරීම ලියුම්කරුට අයිති වැඩක් නොවේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් සංස්කෘතිකමය රාමුව තුල ගොන්පාට් එකක් වූවත් එක දිගට මාස තුන හතරක් එක දිගට කාර්යාල වල පුටු රත්කරමින් යතුරුපුවරුවකට මොනිටරයකට සිරවූ ජීවිතය තුල පැවතියා වූ ආතතිය බ්ලොග් එකකින් පමණක් එලියට දැමූ ලියන්නන් මෙසේ පැමිණ පොඩි එවුන් මෙන් විනෝදවනු දැක මට නම් සංතෝසයක් ඇතිවේ. එය ජයතිලකයන්ගේ චරිත තුනක්හි ඉසා සිය වගාවන් ලෙස බලා ඇති කරගත් ආඩම්බරයකට සමාන ආඩම්බරයකි.