බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Jan 26, 2015

නිර්මාණ කියවීමේ සැන්දෑව

දුෂ්කරම අවකාශයක වුව නිර්මාණ තුලින් සමාජය පරිවර්ථනය කල යුතු බව වඩා යහපත් අාස්ථානයකට විශ්වාස කරමු අපි...... 

බොරැල්ල නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය මගින් පැවැත්වීමට ‍යෝජනා කර ඇති නිර්මාණ කියවීමේ සැන්දෑවක් 2015 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා සවස 4.00ට නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී ආරම්භ වේ. මෙය මාසිකව පැවැත් වීමට නියමිතයි. ප්‍රවීන, නවක, ආධුනික නිර්මාණ කරුවන් ගෙන් යුතුව සංවාදශීලී වේදිකාවක් නිර්මාණය කිරීම මෙම කලා ආවරණයේ අරමුණයි.

කෙටිකතා,කාව්‍ය,නවකතා, නාට්‍ය පිටපත්, තිර පිටපත්(චිත්‍ර පට හා රූපවාහිණී), පුවත් පත් ලිපි, විවේචන, ගීත ආදී නිර්මාණාත්මක රචනා ඉදිරිපත් කර සුභවාදීව ඒවා පිළිබඳව මෙහිදී සංවාදයක නිරත වීමට අවස්ථාව උදාවේ. ඉන් බලාපොරොත්තු වන්නේ ගැඹුරු, අර්ථවත් කලාත්මක නිර්මාණ බිහි කිරීමයි. ඔබගේ නිදහස් අදහස් හා යෝජනා අනුව ඉදිරියට මේ කර්තව්යතය දිගටම පුළුල් කරගැනීමට අපි ඔබට ආරාධනා කරමු.

මෙම කර්තව්යඉය සාර්ථක කරගැනීම සඳහා දැනට දයා දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෝමපාල ගුණධීර, බුද්ධදාස ගලප්පත්ති, චමින්ද වෙල‍ගෙදර, මහින්ද කුමාර මස්ඉඹුල, අදිතා දිසානායක යන නිර්මාණ කරුවන් අප හා දායක වීමට කැමැත්ත දක්වා ඇත.

ඔබගේ පැමිණීම සනාත කරන්න. ප්‍රථම දින ඇවිත් යන්න. බෙදාගන්න. 

සංවිධානය
නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය
damithwilegoda@gmail.com
0788523801 දමිත්
0713100411 පබාත්

Dec 23, 2014

ලංකාවේ ඡන්ද දායකයා කොයිබටද? 

ලංකාවේ ඡන්ද දායකයා හැදින්විය හැකි මූලික ක්‍රම හතරක් මම හදුනාගත්තෙමි.
අංක 1 - රියැලිටි ෂෝ එකක එස් එම් එස් එකක් හා ඡන්දයක අතර වෙනස නොදන්නා මෝඩයෙකි.
අංක 2 - විකල්ප කියලා දෙයක් හිමි නැති නෝන්ජලයෙකි.
අංක 3 - කුමක් හෝ අධිකාරී බලයක් සොයමින් ලතැවෙන යටත් වැසියෙකි.
අංක 4 - කලින් කලට ලේ රස සොයනා මදුරුවෙකි.. 
අංක - 1 
ලංකාවේ ජනතාව ඡන්දය දෙන්නේ තරුවලටය. කොටින්ම කියනවානම් තාමත් මෙවර ජනාධිපතිවරණයට කුමක් වේදැයි කීමට අපි ඉක්මන් වැඩිය. එය තීරණය වන්නේ ජනාධිපතිවරණයට පෙර සතිය තුල අපේක්ෂකයන් සහ ඔවුන්ගේ සහචරයින් කරන ගොන් වැඩ අනුව වන බැවිනි. අපේක්ෂකයින් දෙදෙනාගෙන් තරුවක් වන්නේ කවුරුන්ද යන්න මත ඔහු ජනාධිපතිවරණය ජයගන්නවාද නැද්ද යන්න තීරණය වනු ඇත. රියැලිටි ෂෝ එකක ග්‍රෑන්ඩ් ෆිනාලේ එකක් නැරඹීමෙන් අපේක්ෂකයින් දෙදෙනාට ඒ පිලිඹදව තීරණයකට ඒමට හැකිවනු ඇත. ( කී වර්ඩ් - සිංහල, බෞද්ධ, කදුළු, බොක්ක, මුස්ලිම්, දෙමල, යුද්ධය, හදවත, ලේ, ආරක්ෂක හමුදා, මුස්ලිම් ත්‍රස්තවාදය, රැවුල )  අවසානයේ හදවත සසල කිරීමට සමත් අපේක්ෂකයා ජයගනු ඇත. 

අංක - 2
මහින්ද වෙනුවට රිප්ලේස්මන්ට් එක මෛත්‍රීය. බැසිල් වෙනුවට රනිල්ය ගෝඨාභය වෙනුවට රාජිත පැමිනෙනු ඇත. ඔවුන් මහින්ද රාජපක්ෂගේ පාලනයේ අවසාන අවුරුදු හයක ඉවසා දැන් කරලියට පැමිණ ඇත (ඒ ඇයි?). පාරිශුද්ධ චරිත දෙපැත්තේම නැත. ජනතාවට හොරකම් අඩුවෙන් කරන හොර කල්ලිය තෝරාගැනීම හැර වෙන විකල්පයක් නැත. මහින්දව ඉවත් කිරීමට මෛත්‍රීට ඡන්ද දෙන්නෝ එම පියවර අනුගමනය කරන්නේ ඒ විකල්ප හිගකම නිසාය. 

අංක - 3 
ඡන්දයට ඉදිරිපත් වන්නේ රැවුලෙකු, පර්සනැලිටි ඇත්තෙකු, තාත්තෙකු, කදුළු පිසින්නෙකු හෝ ගැලවුම්කරුවෙකු විනා ජනාධිපතිවරයෙකු නොවේ. ඒ අනුව රටේ ජනතාව නන්නත්තාර වී සිටින යන එන මං නැති අපත රැලකි. උන් ජීවත්ව සිටියදී සරත් ෆොන්සේකා යනුවෙන් හදුන්වන පුද්ගලයෙකි යුද්ධය මෙහෙයුවා උන්ට මතක නැත. දැන් එහෙම නමක් හමුදාවට සම්බන්ධ නැත. උන්ට මෙලෝ දෙයක් හිතාගත නොහැක. ලංකාවේ ජනාධිපති හා ඩේ කෙයාර් එකේ ටීචර් අතර ලොකු වෙනසක් නැති බව මේ අනුව ඔබට වැටහෙනු ඇත. හොරකම් කරන බව දැන දැනත් සමහර උන් පැවැත්ම උදෙසා ජනාධිපතිතුමාට කඩේ යයි. අපි වැඩකරන තැන ලොක්කා සමග ඇරගත්තොත් රැකියා සුරක්ෂිතභාවයට කෙලවේ. සරලව උන් කරන්නේ පැවැත්ම සාදාගැනීමය. ඒ හැරුණු කොට මහින්දට විතරක් හොදයි කීමට හේතුවක් නැත. 

අංක - 4 
ලංකාවේ ඡන්ද දායකයා යුද්ධයට හුරුවී ඇත. දීප්තිගේ තියරියට අනුව ඔවුන්ගේ පොදු සතුරා මියයාමෙන් පසු ඡන්ද දායකයා නන්නත්තාර වී ඇත. ඌ දැන් වෙන සතුරෙකු හොය හොයා ඇවිදී. සමහරුන්ට බොදු බල සේනා පිහිට ලැබෙන්නේ මේ අවස්ථාවේදීය. බොදු බල සේනා එකක් පමණි ඒ ඇරියස් එක පුරවාගැනීමට තවත් සංවිධාන ඇත.  

එම නිසා ඔබේ ඡන්දය ඔබට කැමති ගොන් විදිහකට පාවිච්චි කරන්න. 


Oct 10, 2013

බම්බු සවාරි.


දේශපාලන නිදහස,
රැකියා ලබාගැනීමේ නිදහස,
අධ්‍යාපනය ලැබීමේ නිදහස,
ඒවා නම් ඕනි තමා..
මතින් තොර සමාජයක් ගොඩ නැගීමේ නිදහසක්,
ඕනිමද අපිට?
චේ..
මුන් සවාරි ගිහින්
උඹේ සුරුට්ටුවටත් කොටු දාන්න හදන්නේ..
පරිස්සමෙන්..

Oct 7, 2013

සමනල සංධ්වනිය බැලුවෙමු.

වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි... 

සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත. 

බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය. 

වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි. 

විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි. 

සමනල සංධ්වනියට බැලිය යුතුය‍, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.

පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි. 

Sep 8, 2013

Culture Shock


මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. 
කස්සා කෝ බං අපේ ඉතුරු සල්ලි. 
හිතේ අමාරුවට ගිහින් බොන්නත් ගානක් වියදම් වුනා. 
ලයිව් ෂෝ නම් කසුන් කල්හාරයි චාපයි තමා.
කිසිම වෙනසක් නෑ. 
ඒත් අපිට කසුන්ගේ කටහඬ ඇහුනේ නෑ. 
ඔන්න ඕකයි පින්වතුනි පුල්මුඩේ තත්වය.. 

Mar 14, 2013

Anonymity සහ අපි..

Anonymity යනු කුමක්ද
Anonymity හෙවත් අඥාතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ නියම අයිතිකරු නොමැතිව යම් අදහසක් හෝ නිර්මාණයක් හෝ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමටය. එහිදී සාමාන්‍ය භාවිතය ඇතුලත එම අදාල නිර්මිතයේ අයිතිකරු සොයාගැනීම අපහසු වේ. ඇනෝනිමස් වීමේ තව දිගුවක් ලෙස pseudonymity හෙවත් ආරූඪත්වය හඳුන්වා දිය හැක. එහිදී අයිතිකරුගේ සැබෑ ස්වරූපය සඟවා වෙනත් නමකින් පෙනී සිටීමක් සිදුවන අතර එහිදී නිර්මිතයට අයිතියක් හිමිවනවාක් මෙන්ම නිර්මිතය කාගේදැයි හැඟීමක් එය පරිශීලනය කරන්නාට හිමිවේ. මීට උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ මාක් ට්වේන් යනුවෙන් ආරූඪත්වයක් යොදාගත් සැමුවෙල් ක්ලෙමෙන්ට්ස්  පෙන්වා දිය හැක.

අඥාතභාවය කුමකටද? 
අඥාතභාවය යනු අන්තර්ජාලය සමග පැමිණියක් නොවේ. මෙය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල දැකිය හැක. මේ පිලිඹඳව මනා උදාහරණයක් රෝලන්ඩ් එමෙරිච්ගේ ඇනෝනිමස් සිනමා පටය නැරඹීමෙන් ඔබට ලබාගත හැකිවනු ඇත. එසේ අඥාතභාවය භාවිත කිරීමේ හේතුද එම අවස්ථානුකූලව වෙනස්වේ.  පහත මම විස්තර කරනු ලබන්නේ ඉන් කිහිපයකි.
  • ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නම් ඔබ පෙනී සිටින මතවාදයට එරෙහිව ඔබට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අඥාතභාවය යොදාගත හැක. එවිට ඔබගේ ප්‍රතිරූපයට හානි නොවී ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. තවද ඔබට එම මතය ප්‍රකාශ කිරීමෙන් පෞද්ගලික ජීවිතයට යම් තර්ජනයක් එල්ල වේ නම් එවිටද ඔබට අඥාතභාවය යොදාගත හැක. 
  • බොහොමයක් රටවල රහස් පරීක්ෂකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් හමුවීම පවා අඥාතභාවයකින් යුක්තව සිදුවන අතර ක්‍රිස්තානියේ පව් සමාකිරීම සිදුවන්නේද පූර්ණ අඥාතභාවකින්ය. 
අඥාතභාවය හොඳද නරකද? 
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
  • පුද්ගලයෙක් යම් දේකට බැඳීමක් පවතින විට එමගින් ඔහුට සිදුවන ප්‍රතික්‍රියාවන්ගෙන් මිදී අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට අඥාතභාවය භාවිතා කල හැක. 
  • ප්‍රජාතාන්ත්‍රවාදී නොවන රටක ඔබට රාජ්‍ය විරෝධී අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් ඔබ අනිවර්යයෙන් අඥාතභාවය හෝ ආරඪත්වය භාවිතා කල හැක. 
  • ඔබට ඔබගේ පෞද්ගලික දේවල් (ලිංගික ප්‍රශ්න ආදී) ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අඥාතභාවය හෝ ආරූඪත්වය භාවිතා කල හැක. 
  • මට සිතෙනා අන්දමට අඥාතභාවය හෝ ආරූඪත්වය භාවතකරන වේදිකාවක හැමදෙනාම එක හා සමාන වේ. එවිට ඔවුන්ගේ අදහස් වලට ස්ත්‍රී පුරුෂ භේදයක්, සංස්කෘතික බන්ධන අදාල නොවන අතර හොඳ කතිකාවතක් ගොඩනැගීමේ හැකියාවක් පවතී. 
  • අඥාතභාවය හෝ ආරූඪත්වය පර්යේෂණ සඳහා භාවිතා කල හැකි වන අතර විවිධ චරිත ගොඩනගා ගනිමින් සමාජීය පර්යේෂණ සිදුකල හැක. 

අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
  • මූලික අපරාධ සිදුකිරීම හෝ එයට අනුබල දීම උදෙසා අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැක. එසේ එය යොදාගත් අවස්ථාද බහුලව ඇත. 
  • පුද්ගල චරිතවලට අපහාස කිරීම උදෙසාද අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැකිවන අතර  එසේ සිදුවන අවස්ථාද විරල නොවේ. 
අඥාතභාවය හෝ ආරූඪත්වය බ්ලොග් අවකාශයට උවමනාද? 
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
  • ඔබ බ්ලොග් සටහන් වල පිලිතුරු ලෙස ඔබ හොඳ පමණක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ කවදාවත් අඥාතභාවයට හෝ ආරූඪත්වයට ඉඩ නොදී සිටී. 
  • තවද ඔබ සංස්කෘතික රාමුවක සිටීනම් සරලවම කුණුහබ්බ කියනවාට අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි. 
  • එසේත් නැතිනම් ඔබ කවුද යන්න පෙන්වාදීමට අකමැතිනම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි. 
  • තවද ඔබ දාගෙන ඉන්නේ වෙස්මූණක් සහ ඒ වෙස් මූණ ගැලවෙනවාට ඔබ අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.  
ඔබේ බ්ලොගය තුල අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප වනවානම් ඔබ ඔය කුමන කැටගරියේදැයි ඔබම තීරණය කරන්න.

බ්ලොග් අවකාශය එදිරිව අඥාතභාවය හා ආරූඪත්වය. 
                 වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.

                  මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
                බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
                මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
              ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.
  • එකක් ඔබගේ වෙස්මූන ගලවා සැබෑ මුහුණ පේන්නට දෙන්න. 
  • නැතිනම් කවදාවත් සැබෑ මුහුණ පෙන්නට නොදෙන්න. 
  • එසේත් නැතිනම් ඔබත් ඔබගේ වෙස් මුහුණ සැබෑ මුහුණයැයි විශ්වාස කරන්න. (ගොබෙල්ස් න්‍යාය)
  • නැත්නම් අවංකවම ඔබ එම බ්ලොග් නොබලා ඉන්න. ඔවුනට හිට්ස් දීමෙන් වලකින්න.
ඔබ ජයග්‍රාහකයෙකු වනු ඇත.. .

Nov 5, 2012

කර්ම කරුමයක් නොවේ..

සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි.

කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න හැරුණුකොට තව කිහිපදෙනෙකුට පමණී.

චිත්‍රපටිය ආරම්භ වන්නේ අන්ත දෙකකිනි. එය පියල්ගේ අන්තය සහ අමන්දාගේ අන්තය ලෙස වෙන්කරගත හැක. කර්ම කතාව තුල විවේකය දක්වා "තරන්තිනෝ ලක්ෂණය" ප්‍රකට වේ. නමුත් අන්ත දෙක විවේකයේදී එකතු වේ. පියල්ට අමාගෙන් ලැබෙන්නේ පියල්ට නොලැබෙන කාමයයි. එය අමන්දාගේ ගීත ගායනයකට සවන්දීමෙන් අමා නානවිට අමාගේ නානකාමරය තුලින් එන ජලයට කකුල තැබීමෙන් සංසිදවන්නේ නැත. පියල් අමාගේ කාමරයට එබී බෙල්ල කඩාගන්නේ ඒ නිසාය.

අමාගේ අන්තයේ පියල් තවත් එක් පොඩි එකෙක් පමණකි. අමා හුදකලා යුවතියකි නදීගෙන් කාමයට වඩා යමක් ලැබෙන්නේ නැත. අමා ඒ රැකවරණය සොයන්නේද නැත. නමුත් පියල් එන්නේ මොකාටද කියා අමා දනී. අමාගේ පාර්ශවයෙන් පියල් යනු පොඩි එකෙකි. එය මානුෂීයය. අමා පියල් සමග සංවාසයේ යෙදෙන්නේද එම මානුෂික සම්බන්ධතාවය නිසා විය යුතුය. අමාගේ අන්තයෙන් බැලූ කල අමා පියල් සම්බන්ධතාවය තරමක් සංකීර්ණය.

පියල්ට සිය මව මගහැරේ. අවුරුදු 25 තරුණයෙක් පියා සමග පවතින අරගලය පියල්ටත් පවතී. එය සිය මවගේ මරණය ගැන වරද පියල් විසින් පියාගේ පිට පැටවීම මත දෙදෙනාගේ ඇතිවන මත ගැටුමක් ලෙස ප්‍රසන්න පෙන්වා දේ. කෙසේ වෙතත් පියල්ගේ සිය මවගේ මරණය පිලිඹඳ වරදකාරී හැඟීමක් පවතී. එය අවසානයේ අමන්දාගෙන් සමනය කරගැනීමට පියල් විසින් උත්සාහ කරයි.

කර්ම තුල ලියුම්කරු ආසා කරණ විශේෂ ලක්ෂණ කිහිපයකි. අමාගේ චරිතයේ විහිදීම ඉන් ප්‍රධාන වේ. අමා කොලඹ ඉංග්‍රිසි කතා කරන පරපුර නියෝජනය කරයි. අමා ස්වාධීනය. නදී අමා හැරගිය විටත් අමා විසින් පියල්ට දුක ප්‍රකාශ නොකරන්නා සේම පියල් අමා සම්බන්ධතාවය "ඉලෙක්ට්‍රා" සම්බන්ධතාවයකි. පියල් තුල අමා කෙරෙහි පවතින මුල් හැඟීම අනිකක් වුවත් අමා තුල පවතින හැඟීම මුල සිටම "මාතෘ" රූපීය.

සිද්ධි ගැලපීම දෙවනුවට ගත හැක. අමාගේ ගබ්සාව සිදුවීමට පෙර සල්ලිවලට ගාළු කොටුවෙන් මුහුදට පනින කොලු ගැටයන් සමග බැඳෙන අවිනිශ්චිතතාවය අමාගේ සැඟවී සිට අවසාන ජවනිකාවෙන් එලියට පනින රෝගය සහ මුල් අර්ධයේ ප්‍රකට වන තරන්තිනෝ ලක්ෂණය ඒ යටතට දැමිය හැකිය.

අවසානයේ නදීගේ චරිතයයි. නදීගේ චරිතයට නදීක ගුරුගේ තෝරාගත්තේ ඇයිද යන්න ලියුම්කරුට තාම ගැටළුවකි. කෙසේ වෙතත්. නදීගේ චරිතයට නදීක ගුරුගේ විසින් කෘතිමත්වයක් ආරූඪ කරයි. එය අධ්‍යක්ෂකගේ වරදක් හෝ අමාට හා පියල්ට නදීව යටවීම නිසා සිදුවන්නක් විය හැක. කෙසේ වෙතත් ඒ චරිතය නදීකගෙන් නියම ආකාරයට එලියට එන්නේ නැත.

කෙසේ වෙතත් කර්ම නැරඹිය යුතු චිත්‍රපටි ගණයට මම ඇතුලත් කරමි. සිරා කියලා කට ඇර කිව නොහැකි වුවත් කර්ම හොඳ චිත්‍රපටියකි. මේ ලිපිය හුදෙක්ම එය නැරඹීමට කරන අනුබලයකි.

Jul 24, 2012

ඔච්චරයි..

මේක ගැන වැඩිය ලියන්න දෙයක් නෑ.
ලියන්න තියෙන්නේ මෙච්චරයි.
බ්ලොග් අස්සේ හොඳම යාළුවෝවත් කාගෙවත් බිස්නස් පාට්නර්ලාවත් නෑ.. 
කාගෙවත් රෙකමදාරුත් තියෙන්න විදිහක් නෑ. 
ඒ වගේ කතා වලට අහුවෙලා
අමාරුවේ වැටිලා. 
අඬනකොට කඳුලු පිහිදානවා ඇරෙන්න. 
වයර් වල සීමාව ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෑ
ඒක නිසා මතක තියාගන්න
සයිබර් මිතුරන්ට ණයට දීමෙන් මුදලත් මිතුරාත් 
දෙකම නැතිවීමට ඉඩ තිබේ.. 

Apr 20, 2012

සුනාමි අනතුරු හැගවීමෙන් අත්දකින ලද දෙයින් උපන් ලියවීමකි

සහෘදය,

අනපේක්ෂිත මොහොතක ස්වභාව ධර්මය නැවත වතාවක් අපට අපූරු පනිවුඩයක් රැගෙන ආ බවත් එහි බියකරු අත්දැකීමක් ගැබ්ව තිබුනු බවත් අප කාටත් අමතක කල නොහැක. ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවු භු චලනයක් හේතුවෙන් ලංකාවේ වාසය කරන අපවද දෙදරාගිය(වාසස්ථාන පිටින්ම සෙලවුනු) සිදුවීම තනි තනි ලෝකවල් නිර්මාණය කරගන්නට ආත්මාර්ථකාමී සිහින දකිමින් සිටින කාටත් ලෝකය තනි යායක්ය යන කියමන ඇත්තක් බව නැවතත්, නැවත නැවතත්  තහවුරු කරගන්නට අවශ්‍යනම් හොද අවස්ථාවකි. මහද්වීප තටාක ගැන නොදන්නා බහුතර සමාජ සත්වයින් පරචස් 10 යේ ඉඩම්කැබලි වල තමන්ගේ රාජධානිය නිර්මාණය කරන්නට උත්සහ දරන්නේ කුණුගොඩවල් දහයක් පහලවක් උනත් පසුකර ගමන්කරන්න සිදුවුවද ඒ ගැන හෝ තමන් අවට පරිසරය ගැන හෝ වගේ වගක් නැතිවය. මේ නිසා සුනාමිය යනු මිනිස් සමාජයට තමතමන් ගැන සිතා බලන්නට තමන්ගේ පටු ලෝකවල් පිලිබදව ලැජ්ජාවීමට මෙන්ම පොදු සමාජයට පිටින් තම ජීවිතය පිලිබද පමනක් සිතන ආකල්ප වල ඇති නිස්සාරභාවය පිලිබදව අපූරු පාඩමක් කියාදෙන්නට ස්වභාවධර්මය ගත් උත්සහයක් බව අපට මගහැරයා නොහැකි ඇත්තකි. එහෙත් මේ ඇත්ත තේරුම් ගැනීමට හැකි තරම් පලල් මනසක් හිමිව තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? එයිනුත් තම මනසට මේ කාරණය ඇතුල්කරගන්නේ කීයෙන් කී දෙනාද? මේ මානසික දුප්පත් කමෙන් මිදෙන තාක් කල්  සුනාමි එකක් නොව දහයක් ආවත් සමාජය මේ පාඩම නියම බරෙන් කියවා ගන්නේ නැත.

පසුගිය බදාදා(11) දින සවස 2.30 ට පමණ අප සිටි නිවාසය දෙදරන්නට වූ අතර පසුව කල සොයාබැලීමේදී අප නිවස අවට පරිසරය පමණක් නොව ලාංකේය භූමියේ සැලකිවයුතු ප්‍රමාණයකට මෙම දෙදරීම බලපාන්නට වූ බව දැනගන්නට ලැබුනි. මෙම දෙදරීමෙන් පසු වැඩිවේලා යන්නට මත්තෙන් සුනාමි අවධානම පිලිබද පුවත් සැලවෙන්නට වූ අතර ඉන් අනතුරුව මුහුද ආශ්‍රිත ජන ජීවිතය මෙන්ම සියලු රට වැසියන් සුනාමියක් පිලිබද තිගැස්මකින් යුතු ව යුහුසුලුව ක්‍රියාත්මක වන්නට විය.

ඒ ඒ පුද්ගලයා සතු ආර්ථික පදනම මත සුනාමියට මුහුණදීමට එකිනෙකා ක්‍රියාකලේ විවිධ තලයන් මත හිඳයි. එනම් සුනාමියට බියෙන් රටතුලට පලායන්නට යුහුසුලුවූ මිනිසුන් අතර ඇතැමෙක් තම සුඛෝපභෝගී වාහන ඒ සදහා උපයෝගී කොට ගත් අතර ඇතැමෙක් ත්‍රීවීල් රථවල නැගී ජිවිතය අපේක්ෂාවෙන් රට තුලට ඉගිලී ගියේය. තවත් සමහරෙක් මෝටර්සයිකල් මත නැගී තවත් සමහරෙක් පාපැදි මත නැගී  එම අරමුණ පෙරදැරිව මුහුද දෙසින් පලායන්නට විය. මේ කිසිදු ප්‍රවාහන පහසුකමක් නැතිව අසරන වූ  මිනිසුන් තම දෙපයින් ඇවිද ජීවිතය අපේක්ෂාවෙන් මහපොලොව තරණය කරන්නට විය.

මේ අතරතුර මහාමාර්ගයේ වාහන තදබදය වැඩිවන්නට විය. නැවත දැනුම්දෙන තුරු අධිවේගි මාර්ගය සියලු වාහනවලට අයකිරිමකින් තොරව විවෘතව පවතින බව විද්‍යුත් මාධ්‍ය හරහා රජය දැනුම්දෙන ලදි.ඉන්ධන පිරවුම් හල් අසල දිග වාහන පෝලිම් දක්නට ලැබුනි. ක්ෂණිකයෙන් විදුලිය විසන්ධිකරන්නට වූ අතර ඉන්ධන පිරවුම් හල් අසල වූ සියලු වාහන අපේක්ෂාභංගත්වයෙන් ඉදිරියට ඇදෙන්නට විය. අලුත් අවුරුද්දට විවිධ දේ මිලදී ගැනීම සදහා නගරයට පැමිණ සිටි මිනිසුන් ගැහැණුන් දරුවන් සමගින් බස්රථ පැමිණෙනු ඇතැයි මද වෙලාවක් බස් නැවතුම් පොලවල රැදී සිට අනතුරුව පයින්ම ගමන් අරඹන්නට විය.(මේ සියලු ක්‍රියාවන් මේ අයුරින් සිදුවන්නට අවැසි සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව නිර්මාණය කරන ලද්දේ (සුනාමිය හැර) වැඩවසම් මෙන්ම ධනවාදය මිශ්‍රවු පාලක යාන්ත්‍රයක අතීත හා වර්ථමාන ක්‍රියාදාමයට අනුව යන්න සදහන් නොකලහොත් එය මේ සටහනට කරන අවමානයකි.)

සිදුවීම් මේ ලෙස ගලන්නට වූයේ සියලු මිනිසුන්ට මුහුදට පිටුපා රටතුලට යන්නට අන්තීම නිවේදනයද නිකුත් වූ පසුවයි. දැන් කවුරු කවුරුත් තම හැකි පමණින් මුහුදු සිමාව හැරගොස්ය. ඉතිරිව ඇත්තේ ඉතා සිමිත පිරිසක් පමණි. ඔවුන්ද යුහුසුලුව ගමන්කරමින් සිටී. ඒ මුහුද ට පිටුපා රට තුලටය. එහෙත් මේ මොහොතේ තවත් විශ්මිත සිදුවීමක් සිදුවෙමින් පැවතුනි. ඒ මුහුද මතයි. ජීවිතයට ආදරය කරන සෑම සියලු දෙනාම මුහුදට පිටුපා ගමන් කරමින් සිටින විට මුහුද මත තම ජීවිත අවධානමක රදවා බහුදින ධීවර යාත්‍රාවල මෙන්ම එක්දින ධිවර යාත්‍රා වල නැග ගැඹුරු මුහුදට යාත්‍රාකරන මිනිසුන් දකින්නට ලැබීම ඇත්තෙන්ම ඇගකිලිපොලායන දසුනක් විය. එහෙත් ඒ දසුන මා දෑස් ඉදිරිපිට සජීවීවම මැවෙන්නට විය. නිර්භීත මිනිසුන් තම ජීවිත පරදුවට තබා  තමන් හම්බකරන් කන  ධීවර යාත්‍රා බේරාගැනීමේ අරමුනෙන් එම යාත්‍රා දියඹට පදවන ලදි.

ඉර රත්වී ගිනි බෝලයක් ලෙස බැසයන්නට සැරසෙන ඒ නිමේෂයේ අපේ නෙත් යොමුවුනේ ඒ නිර්භීත ක්‍රියාදාමය දෙසටයි. ඉර ක්‍රමක්‍රමයෙන් බැසයන තුරුත් අපේ නෙත් සොරාගත් ඒ දසුන හැකි පමණින් සොරාගන්නට මා වෑයම් කලෙමි. එමෙන්ම එම දසුන ඔබේ නෙතට දායාද කරන්නට මා උත්සුක වෙමි. මිනිසුන් මරණයට බිය බව බොහෝ දෙනා කියනා විට එම අදහසට පිටුපා තම ජීවිතයෙන් අභියෝග කල මිනිසුන්ගේ සජීවී භාවිතය මම ඔබ හමුවේ තබමි. එමෙන්ම මේ මිනිසුන් තම ජීවන කාලය තුල වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මේ පවතින විශම ක්‍රමයට පෙරලා දමන්නට මේ අයුරින්ම එක් පියවරක් තබන්නට තරම් පොහොසත් මනසකින් ක්‍රියාකරන්නට වූ යේ නම් මේ සමාජක්‍රමය පොඩිපට්ටම් කර වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව මා හොදින් දනිමි. ඒ කාර්යය අප සතු වගකීමක් බව අවසාන වශයෙන් සටහන් තබමි.

ආදරයෙන්,
කුරා කුහුඹු මිනිසා.
2012.04.12
22.05 පැය

Apr 2, 2012

අපිත් දැකපු අජිත්..

අජිත්, ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නම් අජිත් කියන්නේ බෙලෙක් කටහඬක් තියෙන පද හසුරුවාගන්න බැරි ගායකයෙක්.. ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නෙමෙයි නම් අජිත්ව කියවන්න අජිත්ට සවන්දෙන්න හරිම ලේසි වෙන්න ඉඩ තියෙනවා.. ඔබ සංගීතය දන්නවානම් කරුණාකර දන්න සංගීතය අමතක කරලා අජිත්ට සවන්දෙන්න.

අජිත්ව වෙලාවකට මියුරු කටහඬවල්වලට අභියෝගයක්. චර්යාත්මක පද වැලකට අජිත් විරිත්තනවා. හැබැයි ඒක ඇතුලේ අජිත් අජිත්ගේ දේශපාලනයක් සහ අජිත්ගේ කලාවක් ගොඩ නංවනවා.

හේයි ජිනීවා
අපි දැන් මරන්නේ නෑ
අපි දැන් කනවා විතරමයි. 
පාර්ලිමේන්තුව ඇතුලට සඳපායනවා..
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා..
සිංහ පැටවු වාගේ බුරනවා. 
No More Marx එක්ක අපි වින්දනය කරන කලාව ගැන අපිටම අවුලක් ඇතිවෙනවා. ඒක විසඳගන්න බැරි අවුලක්. ඒක නිකං හරියට අර අජිත්ගේ පලවෙනි අදියර ඉවරවෙලා දෙවනි අදියරට වෙනකම් අතර කාලයේ සින්දු දෙකක් ගහපු බෑන්ඩ් එක වගේ. අජිත්ගේ සින්දු තුන හතර අහලා ඒකට මාරුවුනාම ඒක තවටිකක් කැපිලා පේන්න ගන්නවා. ඒක අජිත්ගේ වෙනස තවත් කැපිලා පෙන්නන්න කරපු උප්පරවැට්ටියක් වගේ..

අපි කලාව ඇතුලේ හොයන දේශපාලනය අජිත්ගේ පද වැලි අතරේ අජිත් ගායනයේ තිබුනා.

කොහොමත් අජිත්ව විඳිනවානම් අපි සංගීතය කියන එක ඇතුලේ වර්තමානයේ ඉන්න රාමුවෙන් එලියට පනින්නම වෙනවා. එහෙම නැත්නම් අජිත්ව හරියන්නේ නෑ..

අජිත් ගැන මට හිතුනේ මෙහෙමයි. මේකත් No more Marx බලලා ඒකෙන් ආපු මෙව්වා එක පිටකරන්න ලියපු එකක් කියලා වර්ගීකරණය කරලා දාන්න පුළුවන්.. කවුරු කොහොම කිව්වත් අජිත් අනික් අයට වඩා වෙනස්. ඒ විඳීම වෙනස්.. ඒකට මම කැමතියි..

ප.ලි. - මේ තියෙන්නේ තව බලපු එකෙක්ගේ අදහසක්.. වෙලාව තියෙනවානම් ඒකත් බලන්න..

Feb 8, 2012

සදා සොත්ථි භවන්තු තේ...

ගෞතම හෙවත් බෞද්ධයින්ගේ ශාස්තෘවරයානන් මංගල සූත්‍රය දෙසූ සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙසූ දේක. කතිකාවට මූලය වන්නේ මෙම දේශනාවක් දෙකය.

ගෞතම ඉන්දියාව තුල පහල වන්නේ එකල තිබූ ආර්ය යනු ගණගෝත්‍රයේ තිබූ ඒකාධිපති බලතල වලට විරුද්ධව චින්තන විප්ලවයක් අවශ්‍ය නිසායැයි ලියුම්කරු තරයේ විස්වාස කරයි. ගෞතම උත්පත්තියට පෙර පස්මහ බැලුම් බලන්නේද ඒනිසාය. එකල තිබූ ආර්ය සිරිත් විරිත් වලට ගෞතම විසින් පහර එල්ල කරනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සප්ත ආර්ය ධනය චතුරාර්ය සත්‍යය, යන මූලික සංකල්පයන් ඉදිරිපත් කරමිනි. මෙයට ආර්ය යන නම ඈඳෙන්නේද එකී සමාජ පසුබිම හේතුකොට ගෙනය. කොටින්ම කිවහොත් නියම ආර්යයා යනු මොහුය යනුවෙන් නව අරථකතනයක් හඳුන්වා දෙයි.

ගෞතම විසින් මංගල සූත්‍රය දේශනා කර ඇත්තේ එතුමා හමුවට පැමිණෙන දෙවියන් හට පිලිතුරු දේශනාවක් ලෙසය. එය මෙය කියවන්නාත් මමත් ඉගෙන ගෙන ඇති ප්‍රසිද්ධ කාරණයයි. එකල තිබූ ඇදහිලි වලට අනුව දෙවියන් යනු පොරකි. දෙවියන්ට ඕනෑ දෙයක් කල හැක. මංගල සූත්‍රයේ අරමුණ ලෙස ලියුම්කරු දක්වන්නේ දෙවියන් යනුද මිනිසෙකු බවය එසේත් නැතිනම් දුක්ඛ අනිත්‍ය අනාත්ම යන දර්ශනයට යටත් වන ජීවියෙකු බවය. ගෞතම මංගල කරුණු ලෙස කරුණු ගෙනහැර දැක්වීමක් සිදුකලේ එසේ දෙවියන් සහ මිනිසුන් යන කොඨ්ටාශ දෙකෙහි සුඛ විහරණය උදෙසා වැදගත් වන ක්‍රියා පිලිවෙත් පිලිඹද ජනයා දැනුවත් කිරීම උදෙසාය.

වටපිටාව සකසා අවසානය. දැන් ඇත්තේ ගැටළුවට අවතීර්ණ වීමය.
හින්දු විවාහ සිරිත් වල මූලිකව මංගල කරුණු කිහිපයක් සඳහන් වේ.


  • භූමි මංගලම්, උදක මංගලම්
  • අග්නි මංගලම්. වායු මංගලම්
  • ගගන මංගලම්. සූර්ය මංගලම්. 
  • චන්ද්‍ර මංගලම්. ජගත් මංගලම්.
  • ජීව මංගලම්. දේහ මංගලම්.
  • මනෝ මංගලම්. ආත්ම මංගලම්.

සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
            ලෙස පාඨය අවසන් වේ

සර්ව යනු සියළු යන අර්ථය ගෙනදේ. සබ්බ යනු එයට සමාන පදයකි.
මෙහි සර්ව මංගලම් භවතු යනු හින්දු මංගල චාරත්‍ර වලින් බිඳී ආ ප්‍රත්‍යයකි. ගෞතම විසින් මෙවන් කාරණයක් දේශනා කර නැත. මෙය පසුකාලීනව ශංකාචාර්යගේ බලපෑම නිසා එකතු වූ කරුණු විනා වෙන අහවල් එකක් නොවේ. සරලවම කිවහොත් භවතු සබ්බ මංගලම් යනු ගෞතම දර්ශනයට අදාල එකක් නම් මංගල සූත්‍රය ගෞතම දර්ශනයේ තිබීම ප්‍රතිවිරුද්ධය. එහි අනික් පැත්තද එසේමය. ඉතින් මේක ගැන තව දුරටත් කතා කල යුතු නැත. මොලයක් ඇත්තන් මෙය තේරුම් ගනු ඇත. නැත්තන් අර අහිංසක ගයාන් පෙරේරාව මරන් කනු ඇත.
එහි භවතු සබ්බ මංගලම් යන ගාථාව යන්නේ ගයාන්ගේ මේ වදන් පෙල අවසානයේදීය
යන්නට පෙර මධුසමයට දෙන්න ලොකු දුකක්.. 
ඉතින් දෙයියනේ භවතු සබ්බ මංගලම් කියන්නේ ඒකට කලින් නෙමෙයිද?

Oct 20, 2011

එන්න ගොන්පාට් වෙන්න..

කළුතරට නුදුරුව කළුගල් මෝලකි. එය කොටුවේ වෙරල ගොඩ කිරීමට ගෙන එන කළුගල් නැවට පටවන ස්ථානයයි. රෑ ජාමේ පුරු එතැන් සිට කිලෝමීර පහක් පමණ ඈතින් සිටින අපට කළුගල් පටවන හඬ ඇසේ. ලඟ සිටින මිනිසුන්ට කුමක් සිතෙනවා ඇද්ද?
බම්බලපිටියේ සිට මතුගම බලා දිවෙන බසයකි. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. රියදුරු තැන තවත් මගීන් 20 පමණ ගැනීමට රත්මලානේ නතර කරයි. 
පිටිදුවේ සිරිධම්ම හිමියන් සකෘදාගාමී හෝ අනාගාමී වී ඇත. තව නොබෝ දිනකින් එතුමා රහත් වනු ඇත. 
එක් මාධ්‍යයක් දුමින්ද සිල්වා වැරදියැයි කියයි. තවත් මාධ්‍යයක් වෙන එකක් කියයි. රජයේ මාධ්‍ය වෙනම කතාවක් කියයි.
සියළු රූපවාහිනි චැනලවල රාත්‍රි 8 පසූවීමෙන් පසු ප්‍රවෘත්ති රියැලිටි හා මෙගා ටෙලි විකාශය කරයි.. 
ඉහත පෙන්වාදුන් කාරණාවල පවතින සමානකම කුමක්දැයි විමසුවොත් දිය හැකි පිලිතුර වන්නේ අවස්ථා සියල්ලකදීම සමාජයේ ජීවත්වන මිනිසුන් බල්ලාට දමා ඇත කියාය. බස්රථයක ගියත් මේ යන්නේ මිනිසුන් යැයි හැඟීමක් නැත. බස් රථයේ යන මිනිසුන් ගෙදර ගිය පසු ඒ දෙයම තවත් මිනිස් කොට්ඨාශයකට සිදුකරයි. එයට විරුද්ධ වන්නා දෙස බලාගෙන අනෙක් මිනිසුන් දත නියවයි. මේ ලංකාවේ හැටිය. ලංකාවේ වෙසෙන්නන්ට අයිතිවාසිකම් නැත. එක්කෝ ඒවා උන් විසින් අහිමි කරගෙන ඇත. නැත්නම් කවුරුන්හෝ ඒවා අස්ථානගත කර ඇත.
ලියුම්කරු ලඟදී ගිය දේශනයක රසවත් කතාවක් ඇසුවේය. දකුණු ආසියානු රටවල් වල මිනිසුන් තරම් පද්ධතියට හුරුවූ මිනිසුන් කොහේවත් නැත. ඔහු එයට උදාහරණ කර පැවසුවේ ඇම්බියුලන්සයක් මගදී නැවතී එය පණගන්වන්නට එයට තල්ලු දමන රෝගියෙකි. එතරම්ම හෝ ඊට මදක් අඩුවෙන් අපි මේ පද්ධතියට හැඩ ගැසී අපව ගොන්පාට් කරන්නට ඉඩදී ඇත.
ලිපිය අවසාන කරමි. මෙහි අරමුණ පද්ධතිය වෙනස්කිරීමවත් හෝ අදාල සිද්ධි නැවැත්වීම නොවේ. මෙය ලියැවෙන්නේ ඒවා එසේ වෙන බව දැන දැන නොලියා සිටීමේ නොහැකියාව නිසාවෙනි...

Oct 10, 2011

වල්පොල වෙඩි තැබීම පිලිඹඳ ප්‍රවෘත්ති ඇසුවෙමි..

වාසනාවකට Rewind කිරීමේ හැකියාව තිබුනු නිසා චැනල කිහිපයක ප්‍රවෘත්ති බැලීමේ අවකාශය උදාවුනි.. මේ ඒ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව ලියුම්කරුට වැටහුන දේය..

සිරස TV 
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා පාරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී දෙපිරිසක් වෙඩි තබාගෙන අතරමැද සිටි භාරත ලක්ෂ්මන් මහතාට සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තිබුනි.

රූපවාහිනී. 
වල්පොල වෙඩි තැබීමක් සිදුවී ඇත. කෙසේ නමුත් දුමින්ද සිල්වා මහතාට හා භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි වැඩී ඇත. වෙඩි තැබූ පාර්ශව තාම හඳුනාගෙන නැත

ITN
භාරත ලක්ෂ්මන් මහතාට හා දුමින්ද සිල්වා මහතාට තෙවන පාර්ශවයක් වෙඩි තබා ඇත. ඒ ගැන පොලිස් පරීක්ෂණ පවත්වයි..

ස්වර්ණවාහිනී
දරුණුම ප්‍රචන්ඩක්‍රියාව මුල්ලේරියාවෙන්. දුමින්ද සිල්වා මහතා හා භාරත ලක්ෂ්මන් මහතා ගේ පිරිස් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

අනෙකුත් චැනල බලන්නට වූයේ නැත. ස්වර්ණ වාහිනිය නොබැලුවා නම් තාමත් සිදුවූ දෙය නොදනී. කලබල වූ පිරිස් පොලිස් වාහනයක් ගිනිතිබ්බේ ඇයිදැයි තාමත් ගැටළුවකි. පත්කල කමිටුවේ පරීක්ෂණය අවසන් වන තුරු ලියුම්කරුද බලා සිටී..

පලි :
මෙයින් ස්වර්ණවාහිනිය හොඳ බවක් නොකියවේ. මේ කාරණය ගැන මදක් හෝ පැහැදිලි ඉදිරිපත් කිරීමක් සිදුවූයේ එයිනි. නමුත් එය වාර්තාකරණයක් නොවේ..

Oct 4, 2011

කූරගල ආගමික ගැටළුව..

මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක් සමග ආගමක් බවට පත්වීම සිදුවී ඇත. අපි උපදින විට අපිට ආගමක් හිමිවන්නේ එහි අතුරුඵලයක් වශයෙනි.

කතාව මෙසේ වුනත් සෑම මිනිසෙකුටම ආගම ඇදහීමේ අයිතියක් ඇත. අදාල දර්ශනය ප්‍රශ්න කිරීමකින් තොරව ආගමක් ඇදහීම ලියුම්කරු විශ්වාස නොකලත් ආගමක් ඇදහීමේ පුද්ගලික නිදහස ලියුම්කරු අගය කරයි. ඉහත කරුණේ ප්‍රතිඵලයක් ලෙස ආගම් කිහිපයක් ලෝකය තුල බිහිවන අතර ඒ තුල මිනිසුන් බෙදීගොස් බෙදුම්වාදයක් ඇරඹී ඇත. ආගම යනුවෙන් ලියුම්කරු හඳුන්වාගන්නා කරුණ මෙයයි. 
ලියුම්කරු මෑත දිනයක් කූරගල ගියේය. කූරගල බලන්ගොඩ සිට කල්තොට පාරේ කිලෝමීටර් 22 එසේත් නැතිනම් තණමල්විල හම්බේගමුව සිට කිලෝමීටර  40 පමණ දුරින් පිහිටි ශුෂ්ක කලාපයට අයත් ගම්මානයකි. බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 22 ගිය තැන තැන්න හමුවේ. කූරගලට ලඟාවීමට නම් තැන්නේ සිට කිලෝමීටර දෙකක් ඇතුලට ගමන් කල යුතුය. කූරගල චාරිකාව ගැන සවිස්තරාත්මක විස්තරයක් වැප්  විසින් සටහන් කර ඇති බැවින් ඒ පිලිඹඳව දීර්ඝ ලෙස කතාකිරීම නිශ්ඵල බැවින් ලියුම්කරුට හුදෙක් කූරගල ගැන දැනුන දේ මෙම ලිපියට එකතු කරමි..

ආගමික හා ශාසනික ඇසකින් බලනවිට කූරගලින් සිදුවී ඇත්තේ බෞද්ධයින්ට අසාධාරණයකි. එයට වගකිව යුත්තේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවය. කූරගල පුරාවිද්‍යා භූමියකි. එය තුල පුරාවිද්‍යා ගවේෂණ සඳහා බාධාවන සියළු ඉදිකිරීම් ඉවත් කල යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කොටින්ම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂන එහි පැවැත්වෙන බවක් නොදුටුවෙමු. නමුත් අපිට නොපෙනී පර්යේෂණ පැවැත්වුනාද යන්න පිලිඹඳ ලියුම්කරුට විශ්වාසයෙන් කිව නොහැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිඹඳව පියවරක් නොගතහොත් ඊළඟට සිදුවන සිද්ධි පිලිඹඳ වගකීමට සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
දෙවනි කරුණ මෙය බෞද්ධ සිද්ධස්ථාන ගණයට වැටෙන්නේ නම් බෞද්ධයන් කූරගල වන්දනාවට යා යුතුය. කෙසේ වෙතත් අපි ගිය දිනය තුල මුස්ලිම් නඩ කිහිපයක් දුටු නමුත් බෞද්ධ නඩයක් නම් දුටුවේ නැත. බෞද්ධ නඩ නොයාම යනු කූරගල යාමට බෞද්ධයන්ට වුවමනාවක් නැති කම ප්‍රදර්ශනය කිරීමකි. එය එසේනම් අදාල අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට එය බාරදීමට බෞද්ධයින්ට සිදුවේ. ඒ මන්ද යත් අනවශ්‍ය දෙයක් අයිතියේ තමා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසාය. 
ආගමක් අනවශ්‍ය බව සැබෑය. ඒත් ආගම යනු මිනිස් අයිතිවාසිකමකි. කූරගල එරෙහිව හඬ නගනා උන් ඊට පෙර කූරගල අපිට ඇත්තටම අවශ්‍යදැයි නිශ්චය කරගත යුතුය. ශ්‍රී පාදය තුල බහුලව පවතින්නේ බෞද්ධ පන්සල් සහ හින්දු දේවාල පමණක් වුවත් මුස්ලිම්වරුන්ද ශ්‍රීපාදය වන්දනා කරයි. ඒ ඔවුන්ට ආගමිකව ශ්‍රීපාදය අවශ්‍ය නිසාය. බෞද්ධයින් වුවද කූරගල අවශ්‍යතාවය තේරුම් ගත යුතුය. එවිට කූරගල බහු ආගමික ස්ථානයක් ලෙස පැවැත්මක් පවතිනු ඇත. බෞද්ධයින්ට බෞද්ධ ඉතිහාසය හා ඉස්ලාම් ලබ්ධිකයින්ට ඔවුන්ගේ ඉතිහාසය කූරගලින් ලිවිය හැකි වනු ඇත්තේ එවිටය. ලියුම්කරුද සිටින්නේද ඒ අදහසේය. 

ගැටළුව මගහැරිය හැකි එකට තැන වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත් ඉස්ලාම් අයිතිය ගැන බෞද්ධයින් ප්‍රශ්න කරන්නේ නම් එය විසඳීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයකි. මෙහි ආරවුල විසඳිය හැක්කේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. 
එසේනම් මෙය ආගම් දෙකක් මරාගන්නා තත්වයට මුල් අදින තෙක් නොසිට සුදුසු විසඳුමක් විවේචන අපි විසින් බලාපොරොත්තු වෙමු... 

Aug 29, 2011

ගාමනී බැලීම සහ කියවීම...

1999 ගෝනගල සිදුවුන 57 දෙනෙකුගේ ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේඡ ක්‍රියාවලින් එකක් ලෙස ලියුම්කරුද හඳුනාගනී. නමුත් සැබවින්ම ගාමනීගෙන් සාකච්ඡා වන්නේ එයදැයි චිත්‍රපට ශාලාවේ එලියට බසින තෙක් ප්‍රශ්නාර්තයක් රැඳුන නිසා එය විශ්ලේෂනයෙන් පසු මෙසේ ලිපියක් ලෙස එම සිතුවිල්ල එලියට පැමිණේ.
ගාමනී චිත්‍රපටියේ අධ්‍යක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකරයන්ය. එතුමා සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇතිවාක් මෙන්ම මෙම කතාවට එකල ග්‍රාමාරක්ෂක බලකාය ඈඳෙන්නට එයත් ප්‍රබල හේතුවක් වන්නට ඇත. ගාමනී ඇරඹෙන්නේ සත්‍ය සිද්ධියක් ලෙසය. නමුත් චිත්‍රපටයේ සත්‍ය සිදුවීම ගෝනගල ඝාතනය පමණකි. එනම් මුල් අර්ධයෙන් පැය බාගයක පමණ කොටසකිය. ඉතුරු කොටස ප්‍රබන්ධයකි.
ස්වදේශ ආරක්ෂක සේවය ග්‍රාමාරක්ෂක සේවය බවට පත්වීමත් සමග එහි වෙනසක් සිදුවන්නේ 2006 සිදුවන කැබිතිගොල්ලෑව බෝම්බයත් සමගය. ඉන්පසු ග්‍රාමාරක්ෂක සේවය සිවිල් ආරක්ෂක බලකාය ලෙස වෙනස් වන අතර එවකට 19000ක් වූ භට පිරිස 41000 ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීම සිදු කරනු ලබයි. චිත්‍රපටයේ මුල් අර්ධයට පසු ඇත්තේ ප්‍රබන්ධයක් වන්නේ එනිසාය. එනිසා ගාමනී සත්‍ය කතාවක් යැයි කවුරුන් හෝ විස්වාස කරයි නම් එය බැහැර කිරීම මැනවි.
සිවිල් ආරක්ෂක සේවය යනු චිත්‍රපටියක් තුල කතා කලයුතු මාතෘකාවන්ය. සිවිල් ආරක්ෂක භටයා සිවිල් ආරක්ෂක සේවයට එලඹීමේ පටන් ඒ තුල කතාවක් පවතී. මක් නිසාද යත් ගමට ආදරෙන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන්නේ ඉතා අල්පයක් බැවිනි. ඔවුන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන මූලික හේතුව ඔවුනට හමුදා සේවයට එක්වීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොමැති නිසාය. එක් වරක් තන්තිරිමලේ සිදුකල වැඩමුළුව හා සබැඳුන අත්දැකීම් සමග එකල ග්‍රාමාරක්ෂක සේවය කොතරම් දුරට ගමතුල විහිදී ගියාද යන්න පිලිඹඳ යම් අදහසක් ලියුම් කරුට ලබාගත හැකිවිය. එම ජීවිත තුල චිත්‍රපට බරගානකට කතා තේමා ඇත. නමුත් සරත් වීරසේකරයන් සුප්‍රසිද්ධ වානිජ තේමාවකට ගාමනී තුල සිරවී ඇත.
ගාමනී කතා තේමාව විවිධ පැතිකඩ ඔස්සේ ලියුම්කරු චිත්‍රපටි ඔස්සේ දැක ඇත. ඔබ අනූව දශකයේ හින්දි චිත්‍රපට නැරඹා ඇත්නම් ගාමනී කතා තේමාව වෙන වෙන ලේබල් ඔස්සේ රසවිඳ ඇතිවාට සැකයක් නැත. ගාමනී ගේ වෙනස වන්නේ පොදු කතා තේමාවට වෙනස් අයිසිං තට්ටුවක් ආලේප කිරීමයි. නමුත් ගාමනී ඔබ කලින් නරඹන ලද ඒ චිත්‍රපටයම වේ.
සංගීතය හා කැමරාකරණය චිත්‍රපටයට සාධාරණයක් ඉටුකරන අතර සටන් ජවනිකා තුල නම් ගාමනී කියා වෙනසක් නැත. සංගීතය තුල නදීක ගුරුගේ අනන්‍යතාවය බිඳ වැටේ. නමුත් එය උදිත ජයසිංහගේ සංගීතය නම් ඉතා සතුටුදායක තත්වයකි. මන්දයක් කැමරාකරණයෙන් හා සංගීතයෙන් චිත්‍රපටයට යම් සාධාරණයක් ඉටු කරන නිසාය.
අවසාන වශයෙන් කිව යුත්තේ ඔබ යන්නේ ගාමනී තුලින් වෙනසක් දැකීමට නම් එය ඵල රහිත ක්‍රියාවකි. ඔබ යන්නේ තවත් වානිජ චිත්‍රපටියක් නැරඹීමට නම් ඔබ ගාමනී නැරඹුවාට ගැටළුවක් නැත. නමුත් කතා තේමාව අනූව දශකයේ හින්දි චිත්‍රපටි තේමාවම වේ. එය ලංකාවේ රාමුවට ගෙන ඒමේදී සරත් වීරසේකරයක් යම් තරමක් සාර්ථකය. නමුත් චිත්‍රපටයක් මෙසේ විය යුතු නැත. නමුත් ලංකාවේ මෑත කාලයේ ආකාස කුසුම් චිත්‍රපටියට පසු බැලීමට ටිකක් හෝ සිතෙන චිත්‍රපටි ගොන්නට මම ගාමනී ඇතුල් කරමි. නමුත් ආකාස කුසුම් හා හැරෙන්නට ගාමනීට නොහැක...

May 18, 2011

ආදර මෙගා

පෙම්වතා පොහොසත් වන අතර පෙම්වතී දුප්පත්ය.
අනෙකේ පෙම්වතා දුප්පත් මුත් පෙම්වතී පොහොසත්ය.

එකල්හී පෙම්වතී පෙම්වතාගේ පියා යටතේ රැකියාව කරයි.
නැතහොත් පෙම්වතා පෙම්වතීගේ පියා යටතේ රැකියාව කරයි.


එමනිසා දෙමාපියන් කසාදයට අවුල්ය.
එමනිසා දෙමාපියන් . . . . පවසා ඵලක් නැත.

එකම යෝගට් කෝප්ප අච්චුවට වැලි පුරවා වැල්ලේ මාලිගා සාදා ඇථ. ක්ෂණයකින් ඒ මුහුදු රැල්ලෙන් සේදී යයි. පෙම්වතා හෝ පෙම්වතී ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පවුලෙන් පැමිණෙන බාධක මැඩගෙන විවාහ ගිවිස ගත් පසු සභාතොමෝ සතුටින් විසිර යන අතර කතාවද අවසන්ය.

පෙම්වතිය හොටු නිළියකි. උදයට අවදි වනුයේ පෙර දින පෙම්වතා පැවසූ දෙයකට හොටු හලාගෙනය. ඉන්පසු රැකියාවට පිටවීමට පෙර පියා පැවසූ දෙයකට හොටු සලයි. ඉදින් රැකියාවට ගොස් ඒ අතරතුර එහි ඉන්නා උන් කරනා කෙනෙහිලිකම් වලට හොටු සලයි. අවසන හොඳම යෙහෙලිය හමුව උක්ත කාරණා සියල්ලම පවසා හොටු සලයි. අවසන සිනහවෙමින් රයිගම් ජනප්‍රිය නිළිය සම්මානය ගනියි.

පෙම්වතා එසේ නොවේ. බොහෝවිට ඔහු වීරයෙක් වන අතර කලාතුරකින් අහින්සකයෙකි.වීරයා හෝ අහින්සකයා හෝ මොකා වුව පෙම්වතා හරිම රෙස්පෙක්ට්ය. ගැහැණුන් ඔහු වෙත පැමිණ අඟර දඟර දමයි. ඔහු ගණනකට නොගනියි. සියල් සපිරි ලඳුන් පැමිණ අත ඇල්ලුවද ඔහු අත ගසා දමා අහක බලාගනියි. වීරයා නම් මෝටර් සයිකලයෙන් දෙවරක් යයි එයි. අහින්සකයා නම් ලාදුරු රෝගියෙකු සේ සියළු දුක් කම්කටොළු විඳගෙන සිටියි. කෙසේ හෝ කොපමණ ලඳුන් සිටියද පෙම්වතා පෙර සඳහන් කල හොටු ගැහැණිය පසුපසම යයි.

මෙගාව වගා කිරීමට නම් ජෝකර් කෙනෙක් අවැසිමය. පෙම්වතාගේ මාමා, පෙම්වතාගේ යහළුවෙක්, දුෂ්ඨයාගේ පියා, ගෙදරක වැඩ කාරයෙක් නැමැති ඕනෑම භූමිකාවක් තුලින් ඌ මතු කල හැකිය. නැතිනම් මෙගාව වගා කල නොහැක. නැතිනම් නාට්ටියම හොටු පමණකි.

පෙම්වතා හෝ පෙම්වතිගේ ආර්ථිකය මත දුෂ්ඨයා තීරණය වේ. එය ලස්සන මතද තීරණය විය හැක. දුෂ්ඨයා කවර ලිංගික වුවද ඇත්තේ දෙබිඩි ගතිය. පිරිමියා පිරිමියෙකු සේ හැසිරෙන අතර මායම් යොදයි, ඕපාදූප සොයයි, කේලම් කියයි. ගැහැණියද එසේමය; පිරිමි ගති ගුණයෙන් ආඩ්‍යය. ඒ හේ දුෂ්ඨයෙකු නිසාවෙනි.

අවශේෂව අම්මා, අප්පා, සහෝදර සහෝදරියන්ට සහ මෙහෙකරුවන්ට ලෝ බජට් නළු නිළි සෙට් එකක් යොදාගත් කල ටෙලිය සම්පූර්ණය. අධ්‍යක්ෂක සපයන්නේ විකාශය වන චැනලයෙනි. සංගීත වැඩ කටයුතු සඳහා අදාල චැනලයේ රියැලිටි වැඩසටහන් වලින් පිරිස් බලය ලබා දෙයි. පිටපත ලෙස මල් පොතක් හෝ සතියකට එපිසෝඩ් පහක් ලියන රැකියා විරහිත උපාධිදාරියෙක් සෙට් කරගත හැක.

ටෙලිය ගොඩය. තවම නැත. අනුග්‍රාහකයන් සොයා ගත යුතුය.
අනුග්‍රාහකයා බීම කොම්පැණි කාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ බීම බොයි.
අනුග්‍රාහකයා ශැම්පු කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී ඒ ෂැම්පුම යොදා නායි.
අනුග්‍රාහකයා ෆෝන් කොම්පැණිකාරයෙකු නම් ටෙලිය පුරාවට පෙම්වතී එම දුරකතනයකින්ම SMS කොටයි.
අනුග්‍රාහකයා දුරකතන ජාල පහසුකම් සපයන්නෙකු නම් ටෙලිය අවසන් පෙම්වතී ජාල සම්බන්ධය සමග ඉගිල යයි.

සිරස ටී.වී. හි "සිහින පුරය" සහ ජාතික රූපවාහිනියෙහි බොහොමයක් කතා අච්චුව ඒකාකාර වුවද අන්තර්ගතයේ එක්තරා නවමු බවක් සහ පණිවිඩයක් ඇත. එය හොඳ සළකුණකි. නමුදු සිරස ටී.වී. හි අනෙකුත් ටෙලි කතා ඇතුළුව ටී.වී. දෙරණ, ස්වාධීන රූපවාහිනී සහ, ස්වර්ණවාහිනී මෙගා ටෙලිකරණය අතින් ළිං පතුලේය. චැනලයන්ගේ අනෙකුත් මාණයන් පිලිබඳ මෙම ලිපියෙහි සංවාදයට බඳුන් නොවන වග කරුණාවෙන් සලකන්න. දූදරුවෝ, කන්දෙ ගෙදර, අන්දර වැට, ඉංගම්මාරුවහි තේමාවන් සහ අනෙකුත් සියළු ගුණාංගයන් සමග සසඳන කල නූතන ටෙලි නාට්‍යකරණය අතිශය පහල බැස ඇත. එම පහල බැස්ම උදෙක් මෙගාව නිසා සිදුවූවක් ලෙස ඇතමුන් චෝදනා කලද , එය එසේ යැයි නිශ්චිත නැත. නමුත් ඉහලින් දැක්වූ උදාහරණ සහ සසඳන කල එය එසේ නොවන්නටද බැරි නැත.

එය එසේ වනවා නම් එය ප්‍රතික්ෂේප නොවන්නේ ඇයි දැයි ගැටළු සහ සැක උපදී. දැන් ටෙලි නාට්‍ය යනු ඇඩ්වටයිසින්ම පමණක්ම වන සෙයක් හැඟෙන අතර, එයට හඬ නගන්නට සිටි මහේන්ද්‍ර පෙරේරලා වැනි අතලොස්සක්ද සැඟවී ඇත. එය මර්ධනය කිරීමකට ලක්ව ඇත්දැ‍යි තවත් නිශ්චිත නැති මුත් මහේන්ද්‍ර පෙරේරා මෙගා ටෙලියක මා තව දැක නැත. දැන් මෙගා නොවන ටෙලියකුත් සොයා ගැනීමට නැත. මීඩියා හී අවශ්‍යතාවයට අනුග්‍රාහකයන්ට මුදලට විකුණා අපට නොමිලේ දෙන විකිණීමේ න්‍යාය ප්‍රතික්ෂේප නොවන්නේ ප්‍රේක්ෂකයන් වන අප දෙන දේ බලා පැයක් පහු වී වේලක් කා නිදයන නිසාද? ඒ වෙනුවෙන් හඬ නැගිය යුතු කළා කරුවන් වැල යන අතට උරිස් ශක්තිය දෙන නිසාද? මේ අප සිදුකරන වැරැද්දක්ද? අප ඉදිරියේ සිදුවෙමින් පවතින වැරැද්දක්ද? අප යොදා සිදු කරවන වැරැද්දක්ද? විමසිය යුතුමය.

Apr 6, 2011

සයිබර් අවුරුදු උත්සවය, 2011


අවුරුදු උත්සවයක් කී විගසින් හිතට නැගෙන්නේ බනිස් කෑමක් අලියාට ඇහැතැබීමක් කණා මුටිටිය බිඳීමක් වැනි ප්‍රබුද්ධයින්ට සාපේක්ෂව ගොන්පාට් සමුදායකි. එනිසා මෙය සයිබර් අවුරුදු උත්සවය ලෙසින් ලියා ලිපිය ආරම්භ කරනුයේ අදාල අවුරුදු උත්සවය තුලද තිබුනේ ප්‍රබුද්ධයින් අනුකූලව ගොන්පාට් ලෙස අර්ථ දැක්වෙන එකී තරඟ නිසාවෙනි. එනම් මෙය අවුරුදු උත්සවයකි. අවශ්‍ය නම් ගැදරින් එකක් ලෙසද අර්ථ දක්වා ගත හැක.

උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.

නියම අවුරුදු උත්සවයක් යනු මෙය නොවන බව ලියුම්කරුද පැහැදිලිව පිලිගන්නා කරුණකි. නමුති අං ඇදීම, පොර පොල් ගැසීම, කිසිවෙක් නොදන්නා සන්දර්භයක් තුල පද්ධතියට අනුගත වීම විනා අන් විසඳුමක් නොමැති බව ලියුම්කරුද අත්විඳ ඇති කරුණකි. මෙහි දෙවන කරුණ වන්නේ දන්නා තරමින් අදාල සංවිධායකයින් කිසිවෙක් සංස්කෘතික වාදීන් හෝ සදාචාරවාදීන් හෝ ආගම්වාදීන් නොවන නිසා එකී අවුරුදු උත්සවයක් කිරීමේ අවශ්‍යතාවයක්ද නොපැමිණි බැවිනි. මෙය සදාචාරයට බැණ අඬගැසීමක් ලෙසද අදාල පුද්ගලයින්ගේ මනෝභාවයන් හා පරිකල්පනයක් ඔස්සේ කියවා ගත හැකිය.

රවුම් ගණනකට වැටයූ කල බ්ලොග් කරුවන් එකසිය හැටක් පමණ අදාල උත්සවය සඳහා සහභාගි වී තිබුනි. ඡායාරූප බැලූකල වැටහෙන්නේ බහුතරයක් දෙනා සිනාසෙමින් සිටිබවය. නමුත් හඬන්නන් නැතැයි කීමට තරම් ලියුම්කරුට ඒ ගැන අවබෝධයක් තිබුනේ නැත. කෙසේවෙතත් ලියුම්කරුගේ පෞද්ගලික අදහස නම් මිනිසා යනු සමාජශීලිත්‍ය සත්වයෙක් වන නිසා හඳුනාගැනීම් ආදී දේවල් ඔහු විසින් සිදු කරගත යුතු කාරණා බවය. තවකෙක් තමා වෙතපැමිණ කතා කරනතෙක් යමෙක් සිටීනම් පවතින සමාජයේ ඔහු හුදකලා වීම ප්‍රත්‍යක්ෂයකි. එය බක්මහ උලෙකට නොව වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා සත්‍ය වෙන කරුණකි.

ලියුම්කරු සංවිධායක මණ්ඩලේ සිටි හෙයින් පිටතින් පැමිණෙන්නෙක් මෙය කොයි ආකාරයෙන් ජීර්ණය කර ගත්තාද යන්න ගැන මනා වැටහීමක් නැත. එනිසා ඒ ගැන කතා කිරීම ලියුම්කරුට අයිති වැඩක් නොවේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් සංස්කෘතිකමය රාමුව තුල ගොන්පාට් එකක් වූවත් එක දිගට මාස තුන හතරක් එක දිගට කාර්යාල වල පුටු රත්කරමින් යතුරුපුවරුවකට මොනිටරයකට සිරවූ ජීවිතය තුල පැවතියා වූ ආතතිය බ්ලොග් එකකින් පමණක් එලියට දැමූ ලියන්නන් මෙසේ පැමිණ පොඩි එවුන් මෙන් විනෝදවනු දැක මට නම් සංතෝසයක් ඇතිවේ. එය ජයතිලකයන්ගේ චරිත තුනක්හි ඉසා සිය වගාවන් ලෙස බලා ඇති කරගත් ආඩම්බරයකට සමාන ආඩම්බරයකි.

Dec 26, 2010

බ්ලොග්කරණය කලාවක්ද?


A guilty conscience needs to confess. A work of art is a confession.
෴ Albert Camus ෴
ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...
මාෂල් මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන සංකල්පයත් සමග අන්තර්ජාලය පෘථිවිය තුල ජනප්‍රිය වනුයේ එහි අදාල සංකල්පය බල ගැන්වීමෙහිලා තිබිය යුතු මූලික ලක්ෂණ බොහොමයකින් සමන්විත වූ නිසා බව ලියුම්කරුගේ අදහසයි. මෙහිලා සාමාජීය ජාල(social networks) සහ ඊමේල් වැඩි කාර්යභාරයක් ඉටු කල බව සඳහන් කල යුතුය. මේ ඇසුරින් විවිධ ජාතීන් ආගම් අතර සම්බන්ධතා පුළුල් වූ අතර එය පෙර තිබු සම්බන්ධතා වලට වඩා වෙනස් ස්වරූපයක් ගති. මේ හා සමග කුඩා කල අපට තැපෑලෙන් ලියුම් එවූ ඇමරිකාවේ හෝ ජපානයේ පෑනේ මිතුරා අපෙන් ඈත්වී ඔන්ලයින් මිතුරෙකු බිහිවීම සිදුවිය.
අන්තර්ජාලය තුල දවසේ පැය විසිහතරෙන් වැඩි කාලයක් ජීවත් වන e - පුරවැසියන් උදෙසා අන්තර්ජාලය තුල දිනපොතක් ලෙස තබාගැනීම අරමුණු කරගෙන නිර්මාණය වන weblog නමින් සිය දෛනික කටයුතු ලේඛනගත කිරීමේ පහසුව සඳහා සයිබර් දිනපොතක් ලෙස බ්ලොග් ආරම්භය ලෙස සනිටුහන් වේ..
මෙවන් සන්දර්භයක් තුල සිය දිනපොත් සිය පෞද්ගලික දිනපොත සියළුම දෙනාට කියවිය හැකිවන පරිදි වෙනස්කල හැකිවීමත් සමග බ්ලොග් අඩවි දිනපොත් ආකෘතියෙන් බැහැරව එයට ජර්නල් ස්වරූපයක් ආරෝපනය වන්නේ එහි ඇති ලේඛන ප්‍රසිද්ධියට පත්වීමත් සමග එහි නිර්මාණාත්මක ස්වරූපය පුද්ගලික දිනසටහනකට වඩා වැඩි වීම නිසාය. මෙවැනි සන්දර්භයක් තුල බ්ලොග් අඩවි එක්තරා එක් ආකෘතියක් ඔස්සේ දිගටම නිර්මාණය වන්නට විය. බ්ලොග් අඩවිට ප්‍රසිද්ධ කිරීම හා සමගාමීව එයටම අනන්‍ය වූ රසිකයින් පිරිසක් එනම් කියවන්නන් පිරිසක් ඇතිවීම ස්වාභාවිකය. ඉන්පසු ස්වකීය රසිකයින් පාදක කරගනිමින් ලේඛනයේ යෙදීම බ්ලොග් කැටගරි වීමට මූලික හේතුව ලෙස සඳහන් කිරීම නිවැරදිය.දැනට ප්‍රචලිත කැටගරි ලෙස පුවත්, දේශපාලනික, කලා, තාක්ෂණික දැක්විය හැක..
සිය බ්ලොග් අඩවියට රසික සමූහයක් ඇතිවීමත් සමග සිය නිර්මාණ කෙරෙහි වගකීමක් ඇති විශ්වාසනීය සටහන් යෙදීමට රචකයා බැඳී සිටියි. මෙය ග්‍රන්ථ කතුවරයෙකු හෝ පුවත්පත් කලාවේදියෙකු ඉදිරිපත් කරන ලේඛනයකට සමාන වගකීමක් ලෙස මම දකිමි.නමුත් පුවත්පත් කලාවේදියෙකුට හෝ නිර්මාණකරුවෙකුට හෝ නොලැබෙන අවස්ථාවක් මෙහිදී නිතැතින්ම බ්ලොග්කරුවාට හිමිවේ. එනම් පාඨක අදහස් ග්‍රහනය කරගැනීමේ අවස්ථාවයි. මෙහිදී අදාල පුද්ගල චරිතයෙන් හෝ නිර්නාමික අදහස් දැක්වීමටද හැකියාවක් ඇත. එනිසා විවේචන සඳහාද විවෘත තත්වයක් හිමිවී ඇත..
බ්ලොග් රචනය යනු කලාවකි. මේ සටහන හුදෙක් බ්ලොග් රචනය පිලිඹඳ ලියැවුන කෙටි ලියවිල්ලක් වන අතර මෙහි අදහස් ලියුම්කරුගේ පෞද්ගලික අදහස් වේ. බ්ලොග් අඩවියකට පුවත්පතකට හෝ ග්‍රන්ථයකට මෙන් රජයේ රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචියක් නැත. රචකයා කවුද යන්න දැනගැනීමේ හැකියාවද ඉතාමත් අල්පය. එනිසා බ්ලොග්කරණය සිදුවන්නේ විවෘත නිදහස් අදහස් ප්‍රකාශනය සිදුවන මාධ්‍යයක් ඔස්සේය. එනිසා එහි ඇති ස්වයං වගකීමද විශ්වාසයද වැඩිවිය යුතුය...